ජනපතිට මංගලගෙන් සුබපැතුමක්!

August 11, 2020

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කර ගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ දැවැන්ත ජයග්‍රහණය සම්බන්ධයෙන් මගේ සුභාශිංෂණය පිරිණමමි.

එසේම, මෙවැනි ජය ලබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් මෙම ජයග්‍රහණය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත් ශ්‍රී ලාංකීය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කරගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතර ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා.


ලෝක මට්ටමින් මුහුණ දෙන කොරෝනා වෛරස් අවධානම ඉදිරියේ වුවද මැතිවරණ සමයේදී මෙන්ම ඡන්දය දිනය තුළත් ඉතාමත්ම කාර්යක්ෂම සේවයක් සැපයූ සියලුම රාජ්‍ය ආයතන, විශේෂයෙන් මැතිවරණ කොමිසම හා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්,  සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ  ශ්‍රී ලංකා පොලීසිය, හමුදාමය මැදිහත් වීමකින් තොරව කාර්යක්ෂම සිවිල් පාලනයක්,  සිවිල් සේවයක් ලබා දෙන්නට පුළුවන් බව ඒ තුළින් ඔප්පු කළා. ඔවුන්ගේ කාර්යශූර සේවයට ද පැසසුම් එක්කරමි.


මේ  ජයග්‍රහණයට සුබ ප්‍රාර්ථනා කරනවා වගේම මා තුළ  මේ ජයග්‍රහණය සම්බන්ධයෙන් විශාල බියක් ද හට ගෙන  තිබෙන බව ද අවංකවම ප්‍රකාශ කළ යුතුය. මක්නිසාද යත්, මේ දැවැන්ත ජයග්‍රහණය රටේ තවත් දැවැන්ත පරාජයක, එසේ නැතිනම් තවත් මහා පසු පිම්මක පෙර නිමිත්තක් වනු  ඇතයි අපගේ දේශපාලන අතීතය ආවර්ජනය කරන විට  මට සැකයක් මතුවේ.

මා මේ කියන්නේ ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති සහ මා විශ්වාස කරන සාරධර්මයන්  සහ ප්‍රතිපත්ති හාත්පසින්ම වෙනස් නිසා විතරක් නෙමෙයි. මෑත ඉතිහාසයේ අත්දැකීම් අනුව මේ රට තුළ 2/3 ක හෝ දැවන්ත දේශපාලන බලයක් ලබා ගෙන පිහිටවූ හැම රජයක් විසින්ම මේ රටට සේම රටේ අනාගතයට බලපාන සේවයකට වඩා, වාසියකට වඩා  විශාල හානියක් හෝ අවාසියක් වූ බව පැහැදිලිය.  එසේ දැවැන්ත ජය ලබාගත් පක්ෂ නායකයන් රටේ ජනතාවගේ අපේක්ෂාවන් හා රට නඟන ප්‍රතිපත්ති පසෙකලා තම බලය තහවුරු කර ගැනීමේ පටු අරමුණින් ක්‍රියාකිරීම එය ට ප්‍රධාන හේතුවක් විය.


1956 මහ මැතිවරණයෙන් විපක්ෂය ආසන 8කට සීමා කරමින් ලැබු දැවැන්ත ජයග්‍රහණයත් සමගම එදා දේශපාලනයට පංච මහා බලවේගයේ නාමයෙන් එළි දැක්වූ ජාතිවාදය, ආගම් වාදය සහ සංස්කෘතික කුහකත්වයේ පල විපාක අදත් වසර 60 ට පසුව ද මේ රටේ සමස්ත ජනතාවටම විඳින්නට සිදු ව තිබෙනවා.


එම නව ප්‍රවනතාවයෙන් පසුව ජාතිවාදී දේශපාලනයට නිල ආරම්භයක් ලැබීය. සිංහල භාෂාවට මුල් තැන දීම අගය කල යුතු ක්‍රියාවක්  වුවද දෙමළ භාෂාවට සම තැන නොදීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ බෙදුම්වාදය සහ ත්‍රස්තවාදී ගැටලු රට තුළ නිර්මාණය විය. එපමණක් නොව එනිසාම ඉංග්‍රීසි භාෂාව සුපිරි පාසල්වලට යන ළමුන්ට පමණක් සීමාවී අද මේ රට තුළ ඉංග්‍රීසි කථා කරන සහ කථා නොකරන භේදය රටේ සමාජයේ පන්ති භේදයට වඩා එය දරුණු වී ඇත. ඉංග්‍රිසි භාෂාව කතාකිරීම ‘කඩුවෙන් කොටනවා’ වැනි යැයි පොදු සමාජය තුළ ව්‍යවහාරයට එක් වීම හරහා කියාපාන්නේ ද මෙම අසාධාරණ වූ සමාජ වටපිටාවය.

ඒ වගේම 1970 මහ මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලබාගත් සමගි පෙරමුණ රජය ඒ ජනවරමේ එවකට තිබූ වාමංශික හවුලේ පටු අරමුණු සාක්ශාත් කරගැනීමටත් ආගමික හා ජාතිවාදී බහුතරවාදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් කටයුතු කරන ලදී. ඒ  ව්‍යවස්ථාව හරහා ඇත්ත වශයෙන්ම මේ රටේ එතෙක් ස්වාධීනව පැවති අධිකරණය, රාජ්‍ය සේවය සහ පොලීසිය දේශපාලනීකරණය කිරීමේ ආරම්භය ද ඇති විය.එපමණක් නොව ඇතිකරගත් සංවෘත ආර්ථිකය නිසා රට ආර්ථික වශයෙන් ද මහා අගාධයකට තල්ලු කරන ලද අතර තවද, 1960 වන විට ආසියාවේ වඩාත් දියුණු ආර්ථිකයක් පැවති ශ්‍රී ලංකාව එකී ජයග්‍රහණයේ නාමයෙන් ආපස්සට යෑමද ආරම්භ විය.


ඉන් පසුව 1977 වසරේ දී 5/6 ක බහුතර බලයක් ලබා ගත් ආණ්ඩුව විසින් රට තුළ ප්‍රජාත්නත්‍රවාදී මූලධර්මයන් ක්‍රමානුකූලව බිඳ දැමූ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ අතර එමඟින් හඳුන්වා දුන් විධායක ජනපති ක්‍රමය අද මේ රටේ පවත්නා බොහෝ ප්‍රශ්නවලට තවත් මූලශ්‍රයක් ලෙස සැලකිය හැක. මුලින් ආසියාවේම විවෘත වෙළඳපොල ආර්ථිකයක් හඳුන්වාදීමේ ගෞරවය එම රජයට ලැබිය යුතු ය. නමුත් වෙළඳපොල ආර්ථිකයක තිබිය යුතු සංවරණ හා තුළණයන් දුර්වල කිරීම

නිසා ඉහල මට්ටමේ දූෂණ හා වංචා වැඩිවීම හරහා ආර්ථික  අවපාතයක ගමන් කළ බව පැහැදිලිය. එසේම අසීමිත ජනවරමක් ලබාගැනීම තුළ බලයෙන් මත් වූ ඇතමුන්ගේ ක්‍රියාකලාපය නිසාම සංවර්ධනයීය ආර්ථිකයක් වෙනුවට ගජ මිතුරු ආර්ථික ක්‍රමයක් මේ රට තුළ බිහි විය.


2010 දී මහ මැතිවරණයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු තම පාර්ශ්වයට භාගෙන 2/3 බලයක් කෘතිමව අටවාගත් රජය විසින් ගජ මිතුරු ආර්ථික ක්‍රමය, වඩාත් ශක්තිමත් කර රට තුළ තහවුරු කළේය.

එදා 2/3 බලය උපයෝගි කරගත්තේ රටට ජනතාවට සේවය කර, ජනතාවට වරප්‍රසාද ලබා දීම වෙනුවට එවක ජනාධිපතිවරායාගේ ධූර කාලය සඳහා පැවති සීමාව අහෝසි කරමින්, විශේෂයෙන්ම පූර්ණ බලය සහිත අධිකරණය පවා බල රහිත කරමින් විධායක ජනාධිපති ධූරය වඩාත් ශක්තිමත් කරගැනීම වෙනුවෙනි.

මෙවැනි අතීත අත්දැකීම් සහිත රටක, අසීමිත බලයක් ලැබී ඇති වර්තමාන රජය කෙරෙහි ද  මේ මොහොතේ රටේ අනාගතය පිළිබඳ සුබවාදී හැඟීමක් ඇති සැබෑ දේශප්‍රේමීන් තුළ බියක් ඇතිවීම සාදාරණ නොවේ ද?.


මගේ හදවතේ මෙවැනි බයක් ඇති වුවද ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමා ලබාගත් මේ දැවැන්ත ජනවරම පසුගිය රාජ්‍ය නායකයන් මෙන් නොමැතිව ඇත්තවශයෙන් ම මේ ජනවරම මේ රටේ අනාගත දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදා ගනු ඇතැයි මම සැබවින්ම ප්‍රාර්ථනා කරනවා.
ඊනියා දේශප්‍රේමීන්ගේ සහ අවස්ථාවාදී බහුතරවාදීන්ගේ සිරකරුවෙක් නොවී සැබෑ ලෙසම රට දියුණු කරන්නාවූ සැබෑ දේශප්‍රේමී න්‍යාය පත්‍රයකට අනුව එතුමා කටයුතු කරනු ඇතැයි ප්‍රාර්ථනා කරමි.


වර්තමාන ලෝකයේ ශක්තිමත් නායකයෙකු වීමට නම් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ද විය යුතුමය. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස නැති රටකට ආයෝජකයන් එන්නේ නැත; ජනතාවගේ නිදහස හා මානව අයිතීන් සීමා කරන රටවල් සමග බොහෝ රටවල් ගනුදෙනු කරන්නේ ද නැත; මානව අයිතීන් පමණක් නොව සත්වයන්ගේ අයිතීන් උල්ලංගණය කරන රටකට සංචාරකයන් පවා අද එන්නට අකමැතිය.


නීතියේ ආධිපත්‍ය නැති රටකට නූතන ලෝකයේ ඉදිරි ගමනක් ද නැත; ඒ නිසා අපට අවශ්‍යව ඇත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ නව ව්‍යවස්ථාවක් මිස විධායකය වටා බලය කේන්ද්‍ර කරගත් ඒකාධිපති ව්‍යවස්ථාවක් නොවන බවට තේරුම් ගත යුතුයි. ව්‍යවස්ථාදායකය හා අධිකරණය විධායකයේ අතකොළු බවට යළි වතාවක් පත් නොවිය යුතුය.

මේ රට තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇතිකර තිබෙන ස්වාධීන කොමිසම් ආපස්සට හැරවීම නොව, තව තවත් ස්වාධීනව ක්‍රියා කරවීමට අවශ්‍ය ශක්තිය ලබාදීම කළ යුතුව ඇත.
නීතියේ ආධිපත්‍ය ස්ථාපිත නොවෙන රටකට ඉදිරි ගමනක් නැත. රටක නීතිය “රජතුමාටත්, සොල්දාදුවාටත්, පැවිදි පාර්ශ්වයට වූවද” සමාන විය යුතුය; රටේ නීතිය ඇමති දරුවා සිට කම්කරුවාගේ දරුවා දක්වා සමානව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම අධිකරණය තව තවත් ස්වාධීන විය යුතුය.

විවිධ ජාතීන් වසර දහස් ගණනක් තිස්සේ එකට ජීවත් වන ශ්‍රී ලංකාව වැනි රටක සියලු ජාතීන්ට තමන්ගේ ජාතිය ආගමික සංස්කෘතික අනන්‍යතාවය රැක ගනිමින් පෞඪ ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ජීවත් වන්න පුළුවන් විය යුතුය.

1956 න් අරඹා රට තුළ මුල් බැසගත් බහුතරවාදී ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ එකම ප්‍රතිඵලය වනු ඇත්තේ ජාතිකත්වය සහ ආගම මුල්කරගත් තව තවත් අන්තවාදී කණ්ඩායම් පෝෂණය වීම පමණි.
අද අප ජීවත් වන්නේ විශ්ව ගම්මානයකය.

අප වැනි දියුණුවන කුඩා රටකට ජාත්‍යන්තරව හුදකලා වී ගමනක් යෑම විනාශයේ පෙර නිමිත්තකි. ප්‍රබල ගෝලීය බල අරගලයක් ඇතිවෙමින් තිබෙන මොහොතක භූගෝලීය වශයෙන් ඉතාමත්ම කේන්ද්‍රස්ථානයක පිහිටා ඇති අපගේ පුංචි දූපත කිසිම බලවතෙකුගේ අත කොලුවක් නොවිය යුතුය.

සියලුම බල පාර්ශ්වයන් සමඟ මිත්‍රත්වය වඩ වඩාත් දියුණු කරගැනීම තුළින් මේ රට තුළ දියුණුව ළඟා කරගත හැකියි. ඒ වෙනුවෙන්  මුලු ජාත්‍යන්තරය සමග එක්ව අත්වැල් බැඳගෙන ගෙන යන විදේශ ප්‍රතිපත්තියක් තව දුරටත් ක්‍රියාත්මක කළ යුතුය.


සාධාරණ හා සෞභාග්‍යමත් සමාජයක් දැන් හෝ අපගේ අනාගත පරම්පරාවට ලබා දෙන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානාත්මතාවය හා සධාරණත්වය යන ප්‍රධාන කුලුණු සතර එවැනි සමාජයක අත්තිවාරම විය යුතුය.


රටක් හැටියට ඊනියා දේශප්‍රේමීන්ගේ ඝෝෂාව ප්‍රතික්ෂේප කරමින් වැඩවසම් ගෝත්‍රික ආකල්ප සහ පශ්චාත් 56 යුගයේ “කුඩා ලිඳ තුළ විසල් මැඩි මානසිකත්වය” ප්‍රතික්ෂේප කරමින් නූතන ශ්‍රී ලංකාවක ඉලක්කයන් හා අභිලාශයන් පිළිඹිමු කිරීමට ජනධිපතිවරයා නායකත්වය ලබා දිය යුතුය.

අපගේ එක් එක් පෞරාණික සංස්කෘතික සහ ආගම්වල විවිධත්වයන්ට හා මහිමයට ගරු කරමින් නව සැබෑ දේශප්‍රේමීත්වය මත පදනම් වූ නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමෙන් සමෘද්ධිමත් හා සෞභාග්‍ය කරා යන ගමනකට මේ රටේ ඡන්දය පාවිච්චි කරපු, නොකරපු  සහ ප්‍රතික්ෂේප කරපු සියලු දෙනා එක්සත් වන බවට නිසැකය.

t

o

p