එ.ජා.පයේ තවත් කණ්ඩායමකට එරෙහිව විනය පරීක්ෂණ

August 1, 2020

එක්සත් ජාතික පක්ෂයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන නොගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළ බව පැවසු එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවත් එවැනිම කණ්ඩායමකට එරෙහිව විනය පරික්ෂණ පැවැත් වෙන බවත්, එම පරික්ෂණ වලින් වැරදි කරුවන් බවට පත්වන  සියලු දෙනා ඉවත්කර අලුත් මන්ත්‍රිවරු පත්කරන බවත් ජාඇල සහ යක්කල ප්‍රදේශ වල පැවති ජනහමු වලට එක්වෙමින් පැවසිය.

අපි කැපුවත් කොළ යැයි සමගි ජන බලවේගයේ අය ප්‍රකාශ කළද කැපුවත් කොළ කිසිවෙක් එම බලවේගයේ නැති බව වික්‍රමසිංහ මහතා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 30 වැනිදා ජාඇල හා යක්කල ප්‍රදේශ වල පැවති ජන හමුවලට එක්වෙමිනි.  මෙම ජනහමු වලින් පසු “පරපුර” තරුණ සංවිධානය විසින් යක්කල සංවිධානය කර තිබු තරුණ හමුවකට හා සංවාද වැඩ සටහනකටද වික්‍රමසිංහ මහතා සහභාගි වු අතර, අනතුරුව කොළඹ බාන්ස් පෙදෙසේ සහ බටහිර කොළඹ   ස්ටැන්ලි ජෑන්ස්  ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවලටද සහභාගි විය.

ජාඇල සහ යක්කල පැවති ජනහමු අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද කිය.

මේ මැතිවරණයේදි ආණ්ඩුවට අභියෝගයක් ලෙස රට හදන වැඩ පිළිවෙලක් ඉදිරිපත්  කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි.  ආණ්ඩුවට තවමත් ඊට ප්‍රතිචාරයක් දක්වන්න නොහැකි වී තිබෙනවා.

ශ්‍රි ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය ද එක්සත් ජාතික පක්ෂය බව කිවයුතුයි.  1947 සිට මෙතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ 15 ටම අපි ඉදිරිපත් වුනා.

අපේ පක්ෂයට සමාන කළ හැකි පක්ෂයක් මැලේසියාවේ තිබෙනවා. කොංග්‍රස් පක්ෂය හා පාකිස්ථානයේ මුස්ලිම් සංගමය ද අපේ පක්ෂයට සමානබව කිවයුතුයි.  පළපුරුද්ද  අතින් අපි ඉහළම තැනක සිටිනවා. 

පසුගිය ජනාධිපතිවරණයෙන් අපි පරාජයට පත්වුණ නිසා මේ මැතිවරණයත් පරාජයට පත්වන බව ඇතැම් අය කල්පනා කළා.  නමුත් මේ මැතිවරණයට සෘජුවම මුහුණ දියයුතු  යැයි මා තීරණය කළා.  කොරොනා එයි කියා  එදා කව්රුත් සිතුවේ නැහැ.  කොරෝනා ප්‍රශ්නය මතුවන බව දැන සිටියා නම් පක්ෂය දාලා යන්නේ නැති බව අපෙන් ගිය කිහිපදෙනෙකු පසුගියදා මට ප්‍රකාශ කළා.  පක්ෂය හැර ගියාට පසු ඒ ගැන කතා කරලා ඵලක් නැති බවත් ඒ අය පක්ෂයේ දැරුව තනතුරු වලට වෙනත් අය පත්කර තිබෙන බවත් ඔවුන්ට මා ඒ අවස්ථාවේදි දන්වා සිටියා.

වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග වලට මුහුණදී ජයගත හැකි සැලසුම් තිබෙන්නේ අපේ පක්ෂයට පමණයි.  මේ මැතිවරණයට මුහුණ දිමට සුදානම් වූ අවස්ථාවේ මට පක්ෂ අභ්‍යන්තරයෙන් මෙන්ම එළියේ මතුවූ ප්‍රශ්න වලටත් මුහුණ දීමට සිදුවුණා.

මේ වේදකාවේ  කැපුවත් කොළ කියන අය සිටිනවා.  මේ සියලු දෙනා එකට එකතු වී අපේ ජයග්‍රහණයට වැඩ කටයුතු  ආරම්භ කර තිබෙනවා.  මේ වතාවෙත් බෙදි  වෙන් වන්නේ නැතුව ඉදිරියට යන්න මා නොගත්ත උත්සාහයක් නැහැ.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂක කම ඕන කිවා. එය ලබාදුන්නා.  ඊට පසු විපක්ෂ නායක කම ඕන කිව්වා.  එකත් ලබාදුන්නා. මේ වතාවේ අගමැති අපේක්ෂක කම  අවශ්‍ය බව කිවා.  ඒ අනුව එය ලබාදුන්නා.  නමුත් මේ මැතිවරණයට අලියා ලකුණින් තරග කළ යුතු බවත් එය අතහරිනවා නම් පක්ෂය පාවාදිමක් වෙනවා.  කැපුවත් කොළ කියන අය එහෙම කරන්න ඉඩදෙන්නේ නැහැ.

නමුත් පසුව අපේ පක්ෂයෙන් කණ්ඩායමක් පිටව ගියා.  පිටව ගිය ඒ කණ්ඩායම තමන් එක්සත් ජාතික පක්ෂයේ යැයි කියමින් අපට විරුද්ධව අධිකරණයේ නඩු පැවරුවා.  ඒ අනුව ඔවුන් දිස්ත්‍රික් උසාවියෙනුත්, මහ අධිකරණයෙනුත් පරාජයට පත්වුණා.  මහා අධිකරණය තීන්දු කලේ සමගි ජන බලවේගය වෙන පක්ෂයක් බවයි.   නමුත් සමගි ජන බලවේගය තනි පක්ෂයක් ලෙස මැතිවරණයට තරග කිරිම සදහා අපේක්ෂකයන් ඉදිරිපත් කර සිටින බවත් එයින් එ.ජා.ප. යට හානි කළ හැකි බවත් ඒ අනුව සමගි ජන බලවේගයේ සාමාජිකයන්ට එ.ජා.ප.යේ සාමාජිකත්වය දැරිය නොහැකි බවත් අධිකරණය තින්දු කළා.

මම අධිකරණය හමුවට ගියේ නැහැ.  සමගි ජන බලවේගයේ අයම තමයි අධිකරණයට  ගියේ. ඒ අනුව ලබාදී තිබෙන තීන්දුව ඔවුන් පිළිගත යුතුයි.  එසේ නොමැතිව තවදුරටත් බොරු කියා යෑමෙන් ඵළක් නැහැ.  අපි නියම එක්සත් ජාතික පාක්ෂිකයින් යැයි ඔවුන්ට කියන්න බැහැ.

එක්සත් ජාතික පක්ෂය ශ්‍රි ලංකා අනන්‍යතාවය නියෝජනය කරන පක්ෂයක් බව කිව යුතුයි.  එමෙන්ම මේ පක්ෂය සිංහල බහුතරයක් නියෝජනය කරන පක්ෂයක් සේම අනෙකුත් සියලු ජනතාවන් නියෝජනය කරන එකම පක්ෂය බවට පත්ව තිබෙනවා. පොදුජන පෙරමුණ නැතිනම් පොහොට්ටු පක්ෂයට  සිංහල පදනමක් තිබුණත් අනෙකුත් ජාතින් නියෝජනය කරන්නේ නැහැ.  අද මේ රටේ ඡන්ද පදනමක් තිබෙන්නේ පොහොට්ටුවට සහ එක්සත් ජාතික පක්ෂයට පමණයි.

සුදු ජාතිකයන් ජාතින් ලෙස බෙදාවෙන් කළ මේ රට එකමුතු කිරිම සදහා ශ්‍රි ලාංකීය අනන්‍යතාවය උවමනයි.  එහිදි බහුතර සිංහලයින් රටේ නායකත්වය දරණ ගමන් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුලු සෑම ජන කොටසකටම එක සමාන ලෙස සැලකිය යුතුයි.  බුද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදි සිංහල බහුතරයේ අයිතින් ආරක්ෂා කළ යුතුයි. අනෙක් සියලු ජනතාවට ආගමික නිදහස ලබාදි තම සංස්කෘතිය ට අනුව තමන්ට අවශ්‍ය භාෂාව භාවිතා කරමින් නිදහසේ ජිවිත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි.

සිංහල ජාතියේ ආරක්ෂාව ඇතිකර ගත හැක්කේ හැම ජන කොටසක් සමග එකට එක්ව යෑමෙන් පමණයි.  දෙමළ, මුස්ලිම්, බර්ගර් වැනි අනෙකුත් ජන කොටස් වල ආරක්ෂාව තිබෙන්නේද සිංහල ජනතාව සමග එක්ව එක මවකගේ දරුවන් සේ ගමන් කිරිමෙන් පමණයි.

අද මේ රටේ තිබෙන පොහොට්ටු පක්ෂය එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ වල සිංහල පක්ෂ තිබෙනවා.  නමුත් සමගි ජන බලවේගයේ බෞද්ධ, ක්‍රිස්තියානි ජනතාව නියෝජනය කරන සිංහල පක්ෂයක් තිබෙනවාද එහෙම පක්ෂයක් ඔය බලවේගයේ නැහැ.  එවැනි පක්ෂයක් සමගි ජන බලවේගය තුලින් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටයක් සොයනවා වගේ වැඩක් බව කිව යුතුයි.

අද සමගි ජන බලවේගයේ සිටින රාවුෆa හකීම් කැපුවත් කොළ කියන කෙනෙක්ද ? තිගම්බරම් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මනෝ ගනේෂන් කැපුවත් කොළ කියන කෙනෙක්ද?  චම්පික රණවක  තමන් යු.එන්.පි. නොවෙයි කියා තිබෙනවා.  ඉතින් ඔහු කැපුවත් කොළ කියන කෙනෙක්ද?  රිෂාර්ඩ් බදියුර්දින් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මේ අය කවුරුත් කැපුවත් කොළ කියන අය නොවෙයි.  එහෙමනම් නියම යු.එන්.පී. ය මේකද?  අපි තමයි නියම යූ.එන්.පී. ය කියා සමගි ජන බලවේගය කියන්නේ කොහොමද.  යු.එන්.පී. ය අතහැර දමා ගිය අයට නියම යු.එන්.පී. වෙන්න බැහැ.

නියම යූ.එන්.පි. ය, ඩි.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ අපි  සිටින පක්ෂයයි.   වෙන කාටවත් අද අපි තමයි නියම යූ.එන්.පී. ය කියන්න බැහැ.

අප උත්සාහ කලේ මේ මැතිවරණයටද 2015 මෙන් වෙනම සන්ධානයක් ගොඩ නැගිමටයි.  නමුත් මේ අය අපේ පක්ෂයෙන් ගොස් තවත් පක්ෂයක් හැදුවා.  එහෙම පක්ෂයක් හදන්න බැරි බව අපි දිගින් දිගටම ප්‍රකාශ කළත් ඒ අය පිළිගත්තේ   නැහැ.  මෙවැනි පසුබිමක අපි තව මොනවද කරන්නේ. පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මට ගතහැකි හැම පියවරක්ම මා අනුගමනය කළා.

අද සමගි ජන බලවේගය තුළ සිටින්නේ  මහින්දගේ ආණ්ඩුවෙන් එදා මා ගලවා ගත්ත කෑලි කීපයක් පමණයි. ඒ අය අද මට කියනවා මම ඩීල් දානවලු.  මම ඩිල් දැම්මේ නැහැ.  නමුත් අපේ ඡන්ද වලින් පැමිණ ඩීල් දැමුවේ  ඒ අය බව කිවයුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ සැම ක්‍රියාකාරිකයකුට හා මන්ත්‍රිවරයෙකුටම යුතුකමක් තිබෙනවා පක්ෂය වෙනුවෙන් වැඩ කිරීමට. එහෙම නොකරන අය සිටිනවා නම් ඒ අය සම්බන්ධව ක්‍රියා මාර්ග ගැනිමට අපට සිදුවෙනවා.  පසුගිය කාලේ එලෙස වැඩ නොකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පිරිසක් පක්ෂයෙන් ඉවත් කළා.  අනෙක් අයටත් විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.  ඔවුන් වැරදිකරුවන් බවට පත් වුනොත් එය කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර ඔවුන්ද ඉවත් කිරිමට පියවර ගන්නවා.  ඉන්පසු ප්‍රාදේශීය සභා නගර සභා වලට වෙනත් මන්ත්‍රිවරු නම් කළ හැකියි.  තවදුරටත් පක්ෂයේ ඉන්නවාද නැද්ද කියා මේ අය තීරණය කළ යුතුයි.

පක්ෂයෙන් කවුරුත් ඉවත් කරන්න බැහැ කියා පසුගිය කලේ කෑගහුවා. දැන් ඉවත් කර තිබෙනවා.  මේ කවුරුවත් කැමැත්තෙන් මම ඉවත්කලේ නැහැ. අකමැත්තෙන් හෝ එය කරන්න සිදුවුනා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට විරුද්ධව දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේදිද මෙවැනි අසීරු තීරණයක් ගැනිමට මට සිදුවුනා.  ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක දෝෂාභියෝගය ගෙන ඒමට කටයුතු කළ අවස්ථාවේ ඒ අය මගේ හොද මිත්‍රයෝ වුවත් ඊට විරුද්ධ වී පක්ෂය වෙනුවෙන් තිරණයක් ගැනිමට මට සිදුවුණා.

ලලිත් ඇතුලත්මුදලි සහ මම 1973 එකට දේශපාලනයට පැමිණියා.  ඒ වගේම ගාමිණි  දිසානායකත් මගේ හොද මිතුරෙක්.  අපි තිදෙනාම නීතිඥයෝ.  එකට මුණගැසි අපි සාකච්ඡා කරනවා.  නමුත් දෝෂාභියෝගය ඉදිරිපත් කළ අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් කටයුතු කරන්න මම තීරණය කළා.  එදා මා සමග ඒ තින්දුවේ ජෝශප් මයිකල් පෙරේරා මහතාද සිටි බව කිව යුතුයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට දෝෂාභියෝගය ඉදිරිපත් වූ අවස්ථාවේ මා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මුණගැසුනා.  ඒ අවස්ථාවේ අපි අතර පැවති මිතුදමට වඩා පක්ෂය ආරක්ෂා කර ගන්න මා තීරණය කළ බව එතුමාට මම දැනුම් දුන්නා.  ඒ ගැන එතුමා සතුටු වුනා.  “හරියට හරි රනිල් පක්ෂය ආරක්ෂා කරන්න ඕන”  යැයි  එතුමා මට ප්‍රකාශ කළා.

ප්‍රේමදාස මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් කළ දෝෂාභියෝගයෙන් එතුමා ආරක්ෂා කළා  පමණක් නොව එතුමා ඝාතනය කළ අවස්ථාවේදිත් එතැනට ගොස් ඒ වැඩ කටයුතු පවා භාරගෙන වැඩ කළා.

මේ අනුව මම ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයින් සමග වැඩ කටයුතු කරමින් පක්ෂය ආරක්ෂා කරමින් මේ ගමන ඉදිරියට පැමිණි බව සිහිපත් කළ යුතුයි.  වරක රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මා සමග පැවති සාකච්ඡාවකදි කියා සිටියේ “රනිල් මාව අගමැති කළේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. එය කිසිවිටෙකත් මම අමතක කරනනේ නැහැ.  එතුමාගෙන් පසු මම ජනාධිපති විය යුතු බව පක්ෂය පිළිගන්නවා නම්  ඒ අවස්ථාව ලබා ගන්නවා.  දැන් මා අගමැතිවරයා ලෙස එතුමා සමග විසදාගත නොහැකි ප්‍රශ්නයක් ඇති කලොත් මම දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා” . අන්න එහෙම තමා මේ පක්ෂය හැදිලා තිබෙන්නේ.  කවුරුවත් වෙනම ගිහින් පක්ෂ හැදුවේ නැහැ.  එහෙම නම් අද මේ අය එක්සත් ජාතික පක්ෂය මෙතෙක් පැමිණි ක්‍රමවේදයට පිටින් වැඩ කර තිබෙනවා.

අපි සියලුදෙනා එකට එකතුවි වැඩ කරනවා නම් මේ ආණ්ඩුව පහසුවෙන් පරාජයට පත්කළ  හැකියි.  එහෙම නම් කැපුවත් කොල කියන අය මෙන්ම අනෙක් අයටත් එකතුවෙන්න කියමු.  තාමත් ඒ අවස්ථාව තිබෙනවා.  එය අත් නොහරින ලෙස මා ඉල්ලා සිටිනවා.

මේ රටේ උද්ගතව තිබෙන කොරෝනා ප්‍රශ්නයට, ආර්ථික අර්බුදයට විසදුමක් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණයි.  මේ වනවිට ජනතාවගේ ආදායම් මාර්ග කඩාවැටි තිබෙනවා.  ව්‍යාපාර බොහෝමයක ආදායම් අඩුවි තිබෙනවා.  ඇතැම් ව්‍යාපාර කඩාවැටිලා. රාජ්‍ය අංශයේ වුණත්, පුද්ගලික අංශයේ වුණත් සෑම සේවකයින්ගෙම දීමනා කපාහැර තිබෙනවා.  ඇතැම් සේවකයින්ගේ වැටුප් පවා අඩුකර තිබෙනවා.  මේ පසුබිම තුළ ජනතාව තමන් ලග තිබුණ කණකර ආභරණ ටික පවා උකසට තබලා.  එහෙමත් නැතිනම් විකුණා දමා තිබෙනවා.  මේ ප්‍රශ්න වලින් ජනතාව මුදාගෙන  අනාගතයක්  උදාකර දිය හැක්කේ අපට පමණයි.

රට ගොඩගත හැකි සැලසුම් සහ වැඩ පිළිවෙල ඇතුලත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ හමුවට ඉදිරිපත් කර තිබෙනවා.  වෙන කිසිදු පක්ෂයක් එවැනි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර නැහැ.  අප ඉදිරිපත් කර තිබෙන මෙම වැඩ පිළිවෙල පිළිබදව අප සමග වාද කරන්න එක පක්ෂයක් වත් පැමිණියේ නැහැ.

මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිම සදහා මුදල් සොයන්නේ කෙසේදැයි ඇතැම් අය විමසා සිටිනවා.  නමුත් මුදල් හොයාගන්නා ක්‍රමවේදයක් මා රටට ඉදිරිපත් කළා.  2003 වසරෙත් රට ගොඩනැගිම සදහා ඇමරිකාවෙන් සහ ටෝකියෝ සම්මේලනයෙන් මුදල් ලබා ගැනිමට අපට හැකි වුණා.  ඒ වගේම ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් හා අපේ මිත්‍ර රටවලින් මුදල් හා ආධාර ලබා ගැනිමට අපට හැකියාව තිබෙනා.  ජාත්‍යන්තර වශයෙන් අපට වෙන කාටත් නැති සම්බන්ධතා තිබෙනවා.  ඒ සහයෝගය ලබාගෙන අප ඉදිරියට යා යුතුයි.

මේ රටේ එකමුතුභාවය ආරක්ෂා කළ යුතුයි.  අද රට මුහුණ දෙන ලොකුම ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය බව කිව යුතුයි.  අනෙක් සියලුම පාර්ශව එකතු කර ගනිමින් අලුතෙන් සිතා ඒ අභියෝගයට අප මුහුණ දියයුතුයි.  රටේ තරුණ තරුණියන්ට දේශපාලනයට පිවිසිමට අවස්ථාව අප ඇතිකර තිබෙනවා.  මෙම වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑම සදහා මෙවර මැතිවරණයට අප ඉදිරිපත්ව සිටිනවා.

මේ ඡන්දයේදි තීරණය කරන්නේ අපේ අනාගතය නොවෙයි ඔබේ අනාගතයයි.  ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න, අතට සල්ලි ලබාගන්න අගෝස්තු 05 වැනිදා අලියා ලගින් කතිරය ගසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පත්කර ගන්නා ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා  සිටිනවා යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ජාඇල සහ යක්කල පැවති ජන හමුවලට හිටපු ඇමති ජෝශප් මයිකල් පෙරේරා, ජෝන් අමරතුංග හිටපු ඇමතිවරු හා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයින් වන රුවන් විජේවර්ධන, අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රි සමන් රත්නප්‍රිය යන මහත්වරු සහ කොළඹ පැවති ජනහමු වලට එ.ජා.ප. උප නායක හා අපේක්ෂක රවී කරුණානායක, උප සභාපති  හා අපේක්ෂක දයා ගමගේ යන මහත්වරු ප්‍රමුඛ මැතිවරණ අපේක්ෂකයින් හා ක්‍රියාකාරිහු රැසක් සහභාගි ව සිටියහ.

t

o

p