සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් අරඹන්න

August 1, 2020

ජනාධිපතිවරණය සමයේ  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කරගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි  1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන තීරණය කර තිබේ .


ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධාගමික ස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනුවෙන් ලැබුණු මෙම මුදල් වියදම් කළ යුත්තේ එම පූජනීය ස්ථානවල දියුණුවටම මිස මැතිවරණ ජයග්‍රහණයක් සඳහා හෝ පෞද්ගලික පරිහරණයකට නොවන හෙයින් මේ මුදල් සොරා  ගැනීමේ නිර්ලජ්ජිත කාර්යයෙහි නිරත වූ පුද්ගලයා කවරෙක්දැයි වහාම සිංහල බෞද්ධයන් දැන ගත යුතුව ඇතැයි සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියෝ පැවසූහ .


සංස්කෘතික අරමුදල සතු රුපියල් කෝටි 1100ක් වංචා කිරීම යනු බැඳුම්කර වංචාව හා සමාන පාඩුවක් රජයට සිදු කිරීම බවකී ඤාණාලෝක හිමියෝ බැඳුම්කර වංචාවේ පාඩුව පියවා ගැනීම සඳහා රුපියල් බිලියන 12 ක් මහ බැංකුවේ  රඳවාගෙන සිටින අතර සංස්කෘතික අරමුදලට සිදුවූ පාඩුව පියවා ගන්නේ කොහෙන්දැයි වහා සොයා බලා වැරදිකරුවන් සිර අඩස්සියට ගත ගත යුතුව ඇතැයි ද සඳහන් කළහ .


සංස්කෘතික අරමුදලෙන් මුදල් සොරා ගැනීම බුද්ධ පූජාව සොරා කෑම වැනි ක්‍රියාවක් බව පැවසූ ඤාණාලෝක හිමියෝ සිංහල බෞද්ධ නායකයන් යැයි සමාජයට ඒත්තු ගන්වන පුද්ගලයන්ගේ සැබෑ නිරුවත මෙම වංචාවේ අගමුල සමඟ රටට හෙළිදරව් වනු ඇතැයි ද පැවසූහ .


මූල්‍ය ආයතන වලින් මුදල් වංචා කිරීම් ගැන ඉතිහාසයේ කොතෙක් අසන්නට ලැබුනද සිංහල බෞද්ධ පදනමක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක පිං කැටයක් කැඩීම  වැනි සිද්ධියක් හැරුණු කළ පූජනීය අරමුදලකින් මෙවැනි දැවැන්ත වංචාවක් කිරීමේ සිද්ධියක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මෙය බවද ඤාණාලෝක හිමියෝ සඳහන් කළහ .

අංජුල මහික වීරරත්න

t

o

p