කුරුණෑගල රජ කළ දෙවැනි බුවනෙකබා රජුට බිසවුන් සැලකිය යුතු පිරිසක් සිටි බවත් ඒ අතර මුස්ලිම් බිසවක් ද වූ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා කීය. ඉතිහාසඥයකු තබා ලක් ඉතිහාසය මැනැවින් හදාළ අයකු නොවන බව ද මීට පෙර කරන ලද ප්‍රකාශ කිහිපයකින්ම මනාව සනාථ කොට තිබූ අග්‍රාමාත්‍යවරයාට මෙලෙස හදිසියේ කුරුණෑගල දෙවන බුවනෙකබා රජු සිහිපත් වීමට විශේෂ හේතුවක් තිබිණ.
එනම් දැනට පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් නීත්‍යානුකූල වශයෙන්ම සම්මතව ඇති දෙවන බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය වශයෙන් හැඳින්වෙන පැරණි ගොඩනැගිල්ල කුරුණෑගල නගරාධිපතිවරයා ගේ අත්තනෝමතික තීරණයක් මත පසුගිය ජූලි 14 දා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා විනාශ කොට තිබූ බැවිනි.අප රටේ ඓතිහාසිකත්වය තහවුරු කෙරෙන පුරාවිද්‍යා ස්මාරකයක් වූ මෙය මතු පරපුර උදෙසා දායාද කරනු වෙනුවට ඊනියා නගර සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිරියට දමා සපුරාම නීති විරෝධී ලෙස කඩා බිඳ දැමීම සුළු පටු කරුණක් නොවේ.
එමෙන්ම එම නගරාධිපතිවරයා තම දේශපාලන කඳවුර නියෝජනය කරන සිය අතවැස්සකු බැවින් එය තැන වූ බව පැවසෙන දෙවන බුවනෙකබාහු රජුගේ කීර්තිය මඳක් පළුදු කිරීමෙන් ඉන් තම රජයට අත්වන අපකීර්තිය අව ප්‍රමාණ කරගත හැකි යැයි අගමැතිවරයා සිතන්නට ඇත.අපගේ රාජවංශයේ රජවරුන්ගේ අන්තඃපුර හෙවත් බහු විවාහ පිළිවෙත කිසිවකුටත් රහසක් නොවේ. එමෙන්ම අද මෙන් ඒක භාර්යා විවාහ ක්‍රමයක් තදින් ස්ථාපිත නොවූ පැරණි සමාජයේ ඇතැම් යුගවල බහු භාර්යා සේම බහු ස්වාමි පුරුෂ සේවනය සාමාන්‍ය දෙයක් ව පැවතිණ.
විශේෂයෙන් රජවරුන් තම රජමාලිගා අභ්‍යන්තරයේ තමන්ට කැමති බිසෝවරුන් සංඛ්‍යාවක් රඳවා ගෙන සිටියේ එම සමාජ සම්මතය මතය. මෙහිදී රජතුමා අගමෙහෙසිය (අග්ග මහේෂි) නම් ප්‍රධාන බිසවක් සරණ පාවා ගෙන සිටි අතර ඇය රත්‍රන් දෝලාවෙහි ගෙන යාමට සුදුස්සියක බැවින් ඇය රන් දෝලි නමින් හඳුන්වන තත්වයේ පසුවිය. එහෙත් මෙහිදී ‘රන්’ යනු හුදෙක් රාජ්‍යත්වයට අඟවන වදනක් මිස එනමින් යුතු ලෝහය නොවන බව ද අප විශේෂයෙන් සැලකිය යුතුය.මෙම අග බිසවට අමතරව රිදී දෝලි සහ යකඩ දෝලි නමින් හැඳින්වෙන දෙවන හා තෙවන පැලැන්තීන්ට අයත් බිසෝවරු ද අතීත රජ මාලිගාවල විසූහ.
ඒ ශ්‍රේණිගත කිරීමට අනුව රිදී දෝලිය සඳහා කිනම් හෝ වටිනාකමක් සහිත බිසවුන් ඇතුලත් කොට ඇති අතර යකඩ දෝලිය නමින් හැඳින්වෙන ලද්දේ එම ලෝහයේ නමින්ම රජතුමා තම අන්තඃපුරයට තෝරා ගත් විශේෂිත වටිනාකමක් නොමැති සාමාන්‍ය කාන්තාවන් බව පෙනේ. ඒ අනුව අගමැතිවරයා දෙවන බුවනෙකබා රජු බහු භාර්යා සේවනයේ යෙදුණා මදිවාට මුස්ලිම් කාන්තාවකුත් රජ මාළිගය තුළ තබා ගෙන සිටි බවක් පැවසීමෙන් එම අගනා පුරාවිද්‍යා උරුමය විනාශ කිරීමේ අපරාධයේ ‘සැර බාල කරන්නට’ කල්පනා කරන්නට ඇත.
නමුදු ඉන් සිදුවූයේ අගමැතිවරයා ගේ ඓතිහාසික, සමාජ දැනුම සේම දේශපාලන චින්තන පටුත්වය ද අනපේක්‍ෂිත ලෙස සමාජගත වීම පමණි.දෙවන බුවනෙකබාහු රජුට සිටි බව කියන මෙම මුස්ලිම් බිසව පිළිබඳව මගේ අවධානය මුල්වරට යොමුවන ලද්දේ 2010 වසරේ දී පමණය. ඒ ශ්‍රී ලාංකීය ජන සමාජයේ ගුප්ත විශ්වාස සම්බන්ධ ගවේෂණයක දී ඇතුගල්පුර ගලේ බණ්ඩාර දේව විශ්වාසය සම්බන්ධයෙන් කළ විමසීමක දීය. දෙවන බුවනෙකබාහු රජුට සිටි බව කී මෙම මුස්ලිම් බිසව ගේ කතා ප්‍රවෘත්තිය මුල්කොට ජන කතා සේම ජන කවි, සීපද රැසක් නිර්මාණය වී ඇති අතර ඇය මගේ විමසුමට ලක් වූ ඇතුගල්පුර ගලේ බණ්ඩාර දෙවියන් ගේ මව ය.
ඒ සම්බන්ධයෙන් ම’වෙත අනාවරණය වූ ජනශ්‍රැති මූලාශ්‍ර පදනම් කරගත් එම මුස්ලිම් බිසව පිළිබඳ කතා ප්‍රවෘත්තිය මෙලෙසිනි.ක්‍රි.ව. 1293 වසරේ දී යාපහුව රාජධානිය කරගත් දෙවන බුවනෙකබාහු රජතුමා කුරුණෑගල රාජධානියේ නිර්මාතෘවරයා ද වෙයි. ඓතිහාසික මූලාශ්‍ර වලට අනුව ඔහු කුරුණෑගල රාජධානිය ඉඳිකොට එහි බලයට පත් වනුයේ ක්‍රි.ව. 1300 වසරේය. ඉන් පසුව එළැඹි ගම්පොළ, කෝට්ටේ, සීතාවක, මහනුවර යන රාජධානී සමයන් හි පවා නිරුපද්‍රිතව තිබී පසුව යටත් විජිත සමයේ විවිධ භාවිතයන්ට ගැනුණු මෙම පුරාවිද්‍යා ස්මාරකය දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව ජන විශ්වාසයයි.
1815 වසරේ අප රටේ පාලනය භාර ගත් ඉංග්‍රීසිහු තම පරිපාලනමය සහ අධිකරණ කටයුතු සඳහා ඒ දක්වා මෙරට වැසියන් ගේ ගෞරවාදරයට පත් පූජනීය ස්ථාන සහ රාජ්‍යත්වයට සම්බන්ධව ස්ථාන තෝරා ගත් බව ඉතා පැහැදිලිව සනාථ වී තිබේ. ඒ අනුව ඉංග්‍රීසි පාලන සමයේ මෙය ප්‍රතිසංස්කරණය කරන ලදුව පරිපාලන සහ අධිකරණ කටයුතු උදෙසා භාවිතා වන්නට ඇත.
එහෙත්, ‘ගල මත පැහැරූ බළලුන් ගේ න්‍යාය’ මත මෙම පසුකාලීන භාවිතාවන් පමණක් හුවා දක්වන රජයේ වගකිවයුතු ඇතැම් පිරිස් මෙය ඉංග්‍රීසි යුගයේ ඉදිකරන ලද්දකැයි මාධ්‍ය මගින් පවා පවසනු අපට ඇසිණ. එහෙත්, එම පුරාවිද්‍යාත්මක හානියෙන් පසුව එහි ස්ථානය නිරීක්ෂණය කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කණ්ඩායම එහි ඊට වඩා පෞරාණික ලක්ෂණ ඇති බව විද්‍යා ශාස්ත්‍රීය වශයෙන් සනාථ කළහ.
ජනප්‍රවාදගත තොරතුරු වලට අනුව දෙවන බුවනෙකබා රජුගේ මුස්ලිම් බිසව කුරුණෑගල අස්වැද්දුම නම් ප්‍රදේශයේ පදිංචි කාරියකි.තම පුර සිරි බලමින් රජු ඇතු පිටිනයනවර අස්වැද්දුම නම් ගම මැදිනදිවසර වැනි තුනු සිරියෙන් තරුණමනහර යොන් අඟනක් දැක සිත ඇලිණ‘ගලේ බණ්ඩාර උපත’ නම් වන ජන කාව්‍යයෙහි එන එම සඳහනට අනුව රජතුමාට එම යෝනක හෙවත් මුස්ලිම් යුවතිය දක්නට ලැබී ඇත්තේ අස්වැද්දුම නම් ප්‍රදේශයේ දීය. අස්වැද්දුම යනු වත්මන් කුරුණෑගල නගරයට නොදුරින් පිහිටි ශීඝ්‍රයෙන් නාගරිකකරණයට ලක්වන ජනාවාසයකි.කිසිවකු විසින් භාර ගෙන කුඹුරක් සේ සකස් කළ ඉඩම යන අරුත අස්වැද්දුම යන්නෙන් පළවන බැවින් මෙම යුවතියගේ වැඩිහිටියන් ද කෘෂිකාර්මික කටයුතුවල යෙදී සිටි බවට අනුමාන කළ හැක.
දෙවන බුවනෙකබාහු රජුගේ යකඩ දෝලියට පිවිසි මෙම බිසව ගේ නම ෆාතිමා බීබී, ෂෙහෙරාන් බීබී, කුරේෂා බීබී, ආදී විවිධ අයුරින් පැවසෙයි. නමුදු ඇය රජවාසල තුළ දී ප්‍රසිද්ධ වී ඇත්තේ මැද්දෙකැටියේ කුමාරි යන නමිනි. මෙහි දී කුමාරි යන නමින් හැඳින්වීමෙන් ද ඇය බිසවකට වඩා කනිටු තත්වයක පසු වූ බව මනාව පෙනෙයි.මැද්දෙකැටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයට සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගමකි. ඒ අනුව රජතුමාට අස්වැද්දුමේදී හමු වුවද ඇගේ උපන් ගම මැද්දෙකැටිය විය යුතුය.
ඇතුගල්පුර ගලේ බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇත්තේ දෙවන බුවනෙකබාහු රජුට දාව මෙම මැද්දෙකැටිය කුමරිය ගේ කුසින් උපන් කුමරා බව පොදු පිළිගැනීම ය. එහෙත් 1293 වසරේ දී යාපහුවේ රජ කම් කළ දෙවන බුවනෙකබාහු රජු ඉන් සත්වසරකට පසු එනම් 1300 වසරේ දී කුරුණෑගල රාජධානිය තනා රජකම් කොට ඇත්තේ වසර දෙකකි. ඒ සම්මත මූලාශ්‍රවලට අනුව 1302 වසරේ එම රජු මිය ගිය බව පැවසෙන නිසාය.
ඒ අනුව රජතුමාට තමන් යාපහුවේ රජකමට පත් 1293 වසරේ දීම මෙම මුස්ලිම් යුවතිය හමු වී ඇය අන්තඃපුරයට කැඳවා ගත්තේ නම් රජතුමා මිය යන විට මැද්දෙකැටිය කුමරියගේ කුසින් බිහි වූ කුමරා ගේ වයස අවුරුදු අටකට වඩා වැඩිවීමට ඉඩක් නැත. ඒ අනුව මෙම රජුගේත් මුස්ලිම් යුවතියගේත් පෙම් සබඳතාවය රජුගේ කුමාර කාලයේ දීම ඇති වී ඒ කාලයේම ඇය මව් පදවියට පත්ව තිබෙන්නට ඇත. ඒ අනුව බලන විට රජතුමා තම අන්තඃපුරයට කැඳවාගෙන ඇත්තේ කුමරියක නමින් හඳුන්වන ලද එක් දරු මවකි.මැද්දෙකැටියේ කුමාරි යකඩ දෝලියේ බිසවක් වුව ද රජතුමා ගේ විශේෂ ආදරයක්, ආකර්ශනයක් දිනා සිටි තැනැත්තියක බව ජන ප්‍රවාදයෙහි එයි. තම පුතුට රජකම ලබා දීම පිළිබඳව ඇය රජතුමා පොළඹවනුයේ එබැවිනි.
ඒ අනුව මොහොමඞ් ස්මායිල් යනුවෙන් හැඳින්වුණු ඔහු වත්හිමි කුමරු ලෙසින් සමාජයේ ප්‍රසිද්ධ වූ බව ජනශ්‍රැතියෙහි එයි. විජයාවතරණයට ඉහත පැවැති කුවේණි සමයට පෙර මෙරට මාතෘ මූලික සමාජයක් පැවැති බවට අනුමාන කළ හැකි සාක්ෂි බොහොමයකි. පන්සිය පනස් ජාතකයේ එන වලාහස්ස ජාතකයෙහි තම්බපන්නිය වශයෙන් හඳුන්වා දී ඇති අපේ රට මිනී කන යකින්නන් ගේ දේශයක් සේ හඳුන්වා දීම පීතෘ මූලික ඉන්දීය ආර්යවාදීන් විසින් අප අතීත ජන සමාජයට එල්ල කළ දරුණු අතුල් පහරකි. නමුදු විජයාවතරණයෙන් පසු පීතෘ මූලිකව ගොඩනැඟුණු අප සමාජය තුළ දෙවන බුවනෙකබාහු රජුට දාව උපන් දරුවකු මුස්ලිම් නමකින් හැඳින්වනුයේ කෙසේද? මෙය ද අප විශේෂයෙන් සිතා බැලිය යුතු ය.
කෙසේ නමුදු 1302 වසරේ සිදු වූ දෙවන බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු වත්හිමි කුමරු නමින් හැඳින්වුණු එම කුමරා රාජ්‍ය පාලනය භාර ගත් බවත් ඔහු අධික ධන තන්හාවෙන් පෙළුණු අයකු බවත් ජනශ්‍රැතියෙහි සඳහන්ය.
වත්හිමි යනු වස්තු ස්වාමි යන අරුත ගෙනෙන කුවේර අභිධාන නාමයකි. එය එම කුමරුන්ට සේම ඔහුගේ පියා වන දෙවන බුවනෙකබාහු රජු සඳහා ද යෙදී තිබිණ. එබැවින් එය කුමරුන් ගේ අධික තෘෂ්ණාව මුල්කොට ජනතාව විසින් පට බඳින ලද නමකැයි නොසිතේ.ඒ කෙසේ හෝ කුරුණෑගල වැවෙන් අද්භූත ලෙස මතුවන රන් සෙම්බුවක් හෝ රන්තලියක් මුල් කොට මෙම වත්හිමි කුමරුන්ගේ අකල් මරණය සිදුව තිබේ.
එය ලබා ගැනීම පිණිස බහිරවයාට පින් අනුමෝදන් කළ යුතු බවක් පැවසූ ඇමති මණ්ඩලය ඇතුගල මුදුනේ පිරිත් මණ්ඩපයක් තනවා දඹදෙණියෙන් ගෙන්වනු ලැබූ භික්ෂු පිරිසක් ලවා පිරිත් කියවන අතරේ ඇතුගල මුදුනේ වාඩි වී සිටි කුමරුගේ අසුන හා සම්බන්ධ කළ ‘නූල් සූත්තරයක’ ආධාරයෙන් කුමරු ඇතුගල පහළට හෙළා ඝාතනය කළ බව ප්‍රකට පුවතකි. එමෙන්ම මෙම පිරිත කුමරුවා මරා දැමීම පිණිස දියත් කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බව පසුව හෙළි විය.
එහෙත් මෙම වත්හිමි කුමරු පිළිබඳ කතා ප්‍රවෘත්තිය මෙරට වංශ කතාවලට ඇතුළත් වී නොමැති අතර දෙවන බුවනෙකබාහු රජුගේ මරණයෙන් පසු ඔහු ගේ පුත් හතරවන පරාක්‍රමබාහු (1302 – 1326) රජ වූ බව පමණක් දක්වා ඇත.සිය පුතු මෙලෙස ඝාතනය වීමෙන් සහ රාජ්‍යත්වයට තම සැමියා ගේ වෙනයම් දරුවකු නම් කර ගැනීමෙන් පසු මහත් කම්පාවට පත් මැද්දෙකැටියේ කුමාරි එම ඝාතනයට සම්බන්ධ වරද කරුවන්ට ශාප කරන මෙන් දෙවියන් අයැද සිටි බව පැවසේ. මෙම අයැදීම ඉස්ලාමයෙහි ‘බදුවා’ නමින් හැඳින්වෙන බව ද කියනු ලැබේ.
ඒ සමඟම මියගිය වත්හිමි වූ කුමරු යක්ෂයෙකු බවට පත්ව එම පිරිතට සම්බන්ධ වූ භික්ෂුන් ගේ ගෙල කඩා රුධිරය උරා බී මුළු ඇතුගල් පුරයම වනසන්නට වූ බව ජනශ්‍රැතියෙහි සඳහන්ය. පසුව ඇතුගල්පුර මඩමේගම විහාරයෙහි වැඩ වෙසෙන සිල්වත් භික්ෂුන් වහන්සේලා එකමුතුව මෙම යක්ෂයා බැඳ එම විහාරස්ථානයට රැගෙන ගොස් බුදුගුණ බලයෙන් ඔහු දමනය කොට කතරගම දෙවියන්ගේ දේව සමාගමට බැන්ද වූ බව කියනු ලැබේ. වත්මන් කුරුණෑගල, බෞද්ධාලෝක පිරුවන් විහාරස්ථානය ඉදිව ඇත්තේ මෙම මඩමේගම පන්සල තිබූ ස්ථානයේය.මෙම පසුබිම යටතේ ජනතාවට සෙත සැලසීම පිණිස කුරුණෑගල ඇතුගලට අධිගෘහිතව ගලේ බණ්ඩාර නමින් දේවත්වයට පත් වත්හිමි කුමරුන්ගේ පිය පාර්ශවය සහ මව් පාර්ශවය නියෝජනය කරමින් දේවාල දෙකක් බිහි විය.
මෙහි පිය පාර්ශවයේ දේවාලයේ හිමිකම මේ වන විට අධිකරණමය තීන්දුවක් මත කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයට පැවරී ඇති අතර කුරුණෑගල කච්චේරිය අද්දර පවත්වා ගෙන යන වත්හිමි කුමරුන් ගේ මව්පාර්ශවයේ දේවාලය අද ද එම පරපුරට අයත් මුස්ලිම් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලැබේ.1890 වසරේ මර්හුම් අහමඞ් ලෙබ්බේ හජ්පියාර් නම් පුද්ගලයෙකු හමුවේ මැවී පෙනුණු සුදු අසකු පිට නැඟි කුමරුවකු මුල්කොට ගත් ආශ්චර්යමත් දර්ශනයක් මත සංවිධානාත්මක ලෙසින් ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දේවාලය 1929 ඉංග්‍රීසි රජය විසින් ඔවුන් ගේ පරපුරට නීත්‍යානුකූලව පවරනු ලදුව එම පරපුරේ වත්මන් සාමාජිකයන් විසින් එහි භාරකාරත්වය දරනු ලැබේ.
එහෙත් එහි ආගමික පුද පිළිවෙත් සාමාන්‍ය ඉස්ලාම් දේවස්ථානයකට වඩා ඉඳුරාම වෙනස් වන අතර සිංහල බසින් ද එහි කන්නලව් සිදු වෙයි. එනිසාම අද වන විට එම දේවාලය මුස්ලිම් ජාතිකයන්ට වඩා සිංහල ජනයා අතරේ ප්‍රසිද්ධ වී තිබේ. කුරුණෑගල වෙළඳ ව්‍යාපාරිකයන් තමන්ගේ වෙළ හෙළදාම් සාර්ථක කරගැනීමේ සිට සාමාන්‍ය ජනයා නිවාස, දේපල, යානවාහන අත්කර ගැනීම, නඩුහබ, විභාග ජයගැනීම, දරු සම්පත් ලබා ගැනීම, ආදී කරුණු වල සිට කුරුණෑගල උපකාරක පන්තිවල නව යොවුන් තරුණ තරුණියෝ සිය පෙම් සබඳතා තහවුරු කරගැනීම දක්වා විවිධ පැතුම් ඉටු කර ගැනීමට මෙම දෙවොළට ඇදී එති.
මේ සම්බන්ධයෙන් අදහස් පහළ කළ එම දේවාල පාර්ශවයේ අයකු අප හා පවසා සිටියේ මෙම ස්ථානය තමන් හට පාරම්පරිකව උරුම වූ චාරිත්‍රයක් ඉටු කරන පුදබිමක් මිස ප්‍රධාන ඉස්ලාම් දෙව් මැදුරු හා සම්බන්ධ තැනක් නොවන බවය.
කෙසේ හෝ තම පුතුගේ අකල් මරණයෙන් පසු කුරුණෑගල තෙලිගොන්න ප්‍රදේශයේ පිහිටි සිය ඥාතීන් සමීපයට ගිය මැද්දෙකැටියේ කුමාරි ඉන්පසු මුළුමනින්ම ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ බවත් ඇගේ මරණයෙන් පසු සිරුර එම ගම්මානයේම මිහිදන් කළ බවත් පැවසේ.තිලක් සේනාසිංහ