විසාලා මහනුවර අමනුෂ්‍ය බය ළඟදීම අපිත් අත්විඳිමුද?

March 27, 2020

මේ වන විට මුළු ලෝකයම පාහේ කොරෝනා වෛරස් රෝග බියෙන් මුසපත් වී හමාරය. ලොව සෙසු බොහෝ රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ද මෙම වසංගත රෝග තත්වය පිටුදැකීමට මහත් වෙහෙසක් දරනු පෙනෙයි. නමුදු එහි සාර්ථක-අසාර්ථක භාවය තවමත් නිශ්චය කළ නොහැක.

එහෙත් මෙම කොරෝනා වෛරස් රෝගය සමඟම පැමිණෙන ඇතැම් විට ඊටත් වඩා බිහිසුණු විය හැකි සමාජ ව්‍යසනයක් පිළිබඳ මෙතෙක් ජාතික මට්ටමේ අවධානයක් යොමුව ඇති බවක් නොපෙනේ.

බෞද්ධ සාහිත්‍යයේ එන රතන සූත්‍ර නිධාන කතාවට අනුව බුද්ධ කාලයේ විසාලා මහනුවර පැවැති තුන් බියක් පිළිබඳව සඳහන් වෙයි. ඒ රෝග, දුර්භික්ෂ සහ අමනුෂ්‍ය බිය වශයෙනි. එම සූත්‍රයේ පෙළ අනුව දැක්වෙන කරුණු කෙසේ වුවත් ඉන් පැවසෙන දාර්ශනික අරුත අනුව නම් එහි ගැඹුරු යථාර්ථයක් ඇති බවක් පෙනේ.

වර්තමාන කොරෝනා වසංගතය නිසා මහජනතාවගේ එදිනෙදා කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වීම මත ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථික මට්ටම දරුණු දෙදරීමකට ලක්ව තිබේ. විශේෂයෙන් රාජ්‍ය සේවය ඇතුළු විධිමත් වැටුප් සහ වෙනයම් නිශ්චිත ආදායම් යාන්ත්‍රනයකට හිමිකම් නොමැති අප රටේ බහුතර ජනතාව මෙම ඛේදවාචකය හමුවේ එදා වේල සොයාගත නොහැකි අහේනි තත්වයකට පත්ව සිටිති.

විශේෂයෙන් අප රටේ බොහෝ ප්‍රදේශවල වගා කෙරෙන එළවළු ඇතුළු වෙනයම් බෝග වගා අස්වැන්න ටොන් සිය දහස් ගණන් කෙත් වතු ආශ්‍රිතව දිනපතා නිරපරාදේ විනාශ වන බවට තොරතුරු ලැබෙමින් තිබේ. ඊට හේතුව එම කෘෂිකාර්මික බෝග සුපුරුදු වෙළෙඳ පොළ වෙත ගෙන ඒමට ඔවුනට නොහැකි වීමත් ඒ සඳහා පහසුකම් සැලසීමට රාජ්‍ය අංශය අපොහොසත් වීමත්ය.

ඒ හැරුණු කොට නොවිධිමත් ආදායම් මගින් එදිනෙදා දිවි පෙවෙත රැක ගන්නා ශ්‍රී ලාංකීය ජන සමාජයෙන් සැලකිය යුතු කොටසක් මේ වන විට අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දැඩි අසීරුවකට පත්ව ඇති බව ද නොරහසකි.

මෙවන් තත්වයක් යටතේ අප ජන සමාජය තුළින් මතුවන දරිද්‍රතා පීඩනය මේ වන විට ක්‍රියාත්මක වී ඇති කදජනාදඅබ සඳහා මුල්වන ඇදිරිනීතිය තුළින් තාවකාලිකව යටපත්ව තිබේ. එහෙත් මෙම වසංගත තත්වය පහව ගොස් එම ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ මෙම කොරෝනා වසංගතය මුල්කොටගත් ඉහත කී සමාජමය අර්බුදය පැනනඟිනු ඇත.

මේ වන විට හටගෙන ඇති ආර්ථික පීඩනයෙන් හෙම්බත්වී සිටින්නවුන්ගේ අනේකවිධ විෂමාචාරී ක්‍රියාවන් ඉහළ යාමත් සමඟ රටේ නීති සහ සාදාචාර පද්ධතිය වේගවත් දෙදරුම් කෑමකට ලක්වනු ඇත.

මෙවන් තත්වයන් සමනය කිරීම පිණිස ලොව සෑම දියුණු රටකම අඩු ආදායම්ලාභීන් සඳහා ආර්ථික විශේෂ ප්‍රතිපාදන සැපයෙන බව නොරහසකි. ඕස්ටේ්‍රලියාවේ පමණක් ආදායම් විෂමතාවලින් පෙළෙන්නවුන් හට මෙම කොරෝනා වෛරස් රෝගය මුල්කොට ඕස්ටේ්‍රලියානු ඩොලර් හත්සිය පණහක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් අසූතුන්දහසකටත් වැඩි මූල්‍ය ප්‍රතිපාදනයක් ලබා දී තිබේ.

නමුත් අප රටේ එවැනි සමාජ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම මත මනුෂ්‍යත්වය බිඳ වැටීමෙන් සිදුවන සාපරාධී ක්‍රියාවන් ඇතුළු නීති විරෝධී ක්‍රියා සහ සදාචාර විරෝධී ක්‍රියා වේගයෙන් හිස ඔසවනු ඇත. එය මුල්කොට රතන සූත්‍ර නිධාන කතාවේ තුන් බිය අතරට එන ‘අමනුෂ්‍ය බිය’ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට තව එතරම් කාලයක් ඇතැයි මට නොසිතේ.

බෞද්ධ සාහිත්‍යයේ දීඝනිකායට අයත් චක්කවත්තී සීහනාද සහ කූටදන්ත ආදී සූත්‍ර මගින් විස්තර කෙරෙන මෙම සමාජ ධර්මතාව චක්කවත්තී සීහනාද සූත්‍රයෙහි සඳහන් වනුයේ ‘දස්සු ඛීලං’ හෙවත් දාසයන්ගේ බලය යනුවෙනි. බුද්ධකාලීන භාරතයේ ‘දාස’ යනුවෙන් හඳුන්වනු ලැබූ මෙම සමාජමය පැලැන්තිය වර්තමාන සමාජ, දේශපාලන ව්‍යවහාරයන්ට අනුව කම්කරුවන්, නිර්ධනයන් හෝ අඩු ආදායම්ලාභීන් වශයෙන් හැඳින්විය හැකි බව පෙනේ.

චක්කවත්තී සීහනාද සූත්‍රයට අනුව රාජ්‍යත්වය මත පදනම් වන ආර්ථිකය බිඳ වැටීමෙන් පසු සමාජයේ ක්‍රියාත්මක වන ‘දස්සු ඛීලං’ යන්න සොරුන්ගේ බලය හෙවත් ‘චෝර ඛීලං’ යනුවෙන් ද එම සූත්‍ර අටුවාවෙහිම විස්තර කෙරේ. එහෙත් බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ එම සමාජමය ධර්ම කොටස් අද මහජනතාව අතරට සංනිවේදනය වීමක් සිදුනොවේ.

උන් වහන්සේ විසින් ස්ථාපිත කරනු ලැබූ ශ්‍රමණ ප්‍රතිපදාවන්හි හතර මායිම් පවා සුණු විසුණු කොට උන් වහන්සේ විසින් ඉඳුරාම ප්‍රතික්ෂේප කරන ලද සහ සමාජයට බෙහෙවින් අනර්ථකාරී පූජක වාදය තුළ රැඳෙමින් පස්කම්සැප උදෙසා ඕනෑම ‘ගහලකමකට’ පෙළඹෙන ශ්‍රමණයන් නොවන චීවරධාරී බෞද්ධ පූජකවරු පිරිස මෙවැනි සමාජමය ධර්මයක් බුදුන් දෙසා ඇති වගක් වත් නොදනිති. දන්නෝ ද එය වසන් කරති.

එමෙන්ම විසාලා මහනුවර පැවැති තුන් බිය සම්බන්ධ සූත්‍ර දේශනාවට අනුව බුදුන් එහි වැඩමවන ලද්දේ එහි අවසානයේ බවත් එහිදී උන් වහන්සේ ‘රතන සූත්‍රය’ නම් සාදාචාරාත්මක දාර්ශනික පණිවිඩය එහි ජනතාව අතරේ බෙදා දීමක් කළ බවක් මිස ඉන්ද්‍රජාලිකයෙකු මෙන් කටයුතු කළ බවක් මුල් සූත්‍රයෙහි ඇතුළත් නොවේ.

එහි එන ‘පිරිත් පැන් ඉසීමේ කතාව’ අප සමාජයේ පවත්නා ආධ්‍යාත්මික ප්‍රතිකාර හෙවත් ශාන්තිකර්ම අවශ්‍යතාව මුල් කොට බෞද්ධ ග්‍රන්ථ රචකයන් විසින් පසුකාලීනව සමාජගත කරන ලද්දකි. මේ බව ධර්ම ශාස්ත්‍රීය වශයෙන් විස්තර කළ හැකි යම් භික්ෂු පිරිසක් තවමත් අප රටේ සංඝ සංස්ථාව තුළ හිඳිති. එහෙත් මේ වන විට පූජකවාදය මගින් යැපෙන චීවරධාරී කලහකරුවන්ට බයේ ඔව්හු නිහඬව, නිසොල්මන්ව සිටිති.

වර්තමානයේ රටෙහි පවත්නා ව්‍යාකූල තත්වය නිසා ජනතාව තුළ හටගන්නා අවිනිශ්චිත බව මත ඇති වන අධි පාරිභෝගිකත්වය සංත්‍රාස මිල දී ගැනීම යනුවෙන් විස්තර කෙරේ.

පුද්ගල සිතුවිලි එකිනෙකා අතර සම්ප්‍රේෂණය වීම මත සිදුවන ‘රංචු හැසිරීම’ නම් වන පොදු සත්ත්ව ගතිය හා මෙහි යම් සබැඳියාවක් තිබේ. එහිදී එසේ මිලට ගනු ලබන භාණ්ඩවල ප්‍රමිතිය සහ මිල යන සාධක පිළිබඳව ජනතාව වැඩි තැකීමක් නොකරති.

නමුත් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් සියතට ගැනීමේ ක්‍රියාවලිය හෙවත් සංත්‍රාස මිලදී ගැනීමක් මේ විට රට පුරා ක්‍රියාත්මක වෙයි. ඊට අමතරව බැංකුවල පවත්නා මුදල් සංචිත ශීඝ්‍රයෙන් පිටතට ගැනීමේ බැංකු ධාවන ක්‍රියාවලියක් ද මේ දිනවල සිදුවෙයි.

වත්මන් කොරෝනා අවදානම ශීඝ්‍රයෙන් ඉහළ නැංවුණ හොත් එම බැංකු සතු මුදල් සංචිත වේගයෙන් සිඳීයාම නිසා එමගින් ද අප රටේ ‘ආර්ථික ඉඩෝරයක්’ හටගැනීමේ පහසු අවදානමක් පැනනගී. එනිසා චක්කවත්තී සීහනාද සූත්‍රයේ පැවසෙන පරිදි ජනතාව ආරක්ෂා කොට පිහිටවීමේ වගකීම (රක්ඛාවරණ ගුත්ති) පාලකයන් හටම භාරගැනීමට සිදුවෙයි. වත්මන් තත්වය යටතේ නුදුරේදීම අප සමාජයේ දැකිය හැකි මෙම ‘අමනුෂ්‍ය බිය’ සමාජ විද්‍යාත්මකව හැඳින්වෙනුයේ පීඩන න්‍යාය යනුවෙනි.

පසුගිය සියවසේ විසූ ඇමරිකානු ජාතික රොබට් කේ මර්ටර් ආදී සමාජ විද්‍යාඥයන් විසින් විවිධ අයුරින් අර්ථකථනය කොට ඇති මෙම තත්වය නුදුරේදීම සිදුවන සාපරාධී ඇතුළු නීති විරෝධී ක්‍රියා සහ සදාචාර විරෝධී ක්‍රියා ව්‍යාප්තිය මගින් අපහට මනාව දැක ගත හැක. එහෙත් මෙහි තවත් අතිශය ඛේදනීය පැත්තක් ද තිබේ.

එනම් මෙවන් වකවානුවකින් පසුව ඕනෑම සමාජයක සම්මත සදාචාර මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටීමය. බෞද්ධ සාහිත්‍යයේ චක්කවත්තී සීහනාද සූත්‍රයට අනුව නීතිය, යුක්තිය, සදාචාරය බිඳවැටී හිංසන අවි බලයෙන් සමාජය හැසිරෙන (සත්තන්තර කප්ප) මෙම යුගයේදී මිනිසුන් මෘගයන් සේ කටයුතු කරන බව පැවසේ. බුදුන් වදාළ පරිදි එහි අවසන් ප්‍රතිඵලය වන්නේ පුතු මව සමඟ පවා සංවාසයට පෙළඹීමෙනි.

නමුදු බුද්ධ දේශනාවේ එන මෙම වැදගත් සමාජ ධර්මතා සහිත කොටස් අද මුළුමනින්ම පාහේ වැළලෙමින් හා වළලමින් තිබේ. එය ප්‍රබල සමාජ ඛේදවාචකයකි.

තිලක් සේනාසිංහ

t

o

p