ඇඳිරි නීතියෙන් වීදි සුනඛයන් හාමතේ.

March 22, 2020

මේ දිනවල ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වෙසෙන නිවාස අහිමි සුනඛාදී සතුන් දැඩි ආහාර අහේනියකින් පෙළෙන අතර ඉන් ඔවුන්ගේ ජිවිතවදානමක් පවා එල්ල වී ඇති බව “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සහ සුභ සාධන සංවිධානය කියයි.

විශේෂයෙන් අප රටේ නාගරික සහ පූජාභූමි ආශ්‍රිතව දිවි ගෙවන නිවාස අහිමි සුනඛයන්ගේ සුපුරුදු ආහාර රටා අහිමි වීම මත ඔවුන් කුසගිනි දරාගත නොහැකිව කසල දැවුණු අළු සහ පොලිතීන් පවා ආහාරයට ගන්න බවට තොරතුරු ලැබී ඇතැයි අනුරාධපුර සුනඛ මිතුරු සංසදයේ සභාපති නීතිඥ හේරත් බණ්ඩා රත්නායක මහතා කියයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ සත්ව ලෝලීන්, අහිංසාවාදීන් සහ සත්ව හිමිකම් සහ සුබ සාධක ක්‍රියාධරයන් එම අසරණ සත්වයන්ට ආහාර ලබාදීමට ක්‍රියාදාමයන් අලුතින් අරඹා ඇති අතර පෙර සිට එලෙස නිතිපතා ආහාර දුන් එම පිරිස් තම ක්‍රියාදාමයන් පුළුල් කොට ඇතත් එය කෙසේවත් ප්‍රමාණවත් නොවන බවය. එමෙන්ම ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් එලෙස අසරණ සතුන්ට ආහාර ලබාදීමට ඉදිරිපත් වන සමහරුන්ට පොලිස් සහ ආරක්ෂක හමුදා නිලධාරීන් ගේ සහාය ලැබී ඇති සේම එසේ ආහාර දෙන පිරිස් ආපසු හරවා යැවූ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී ඇතැයි “අහිංසා ශ්‍රී ලංකා” සංවිධානය කියයි.

නමුදු වර්තමාන තත්වය යටතේ එම අසරණ සතුන්ට දිවි ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් ආහාර වේලක් හෝ ලබා දීම අප සැමගේ යුතුකමක් වන අතර එම ප්‍රදේශයේ නිවාස, පොලිස් ස්ථාන ,ආරක්ෂක හමුදා කදවුරු සහ රෝහල් වලින් ඉතිරි වන ඉදුල් ආදිය පරිසරයට හානියක් නොවන පරිදි එලෙස නිවාස අහිමි සුනඛයන් ගැවසෙන ප්‍රදේශ වෙත ගෙන ගොස් තබන ලෙස ඒ සදහා හැකියාව ඇති සියළු පාර්ශවයන් වෙත සත්ව අවිහිංසා හිමිකම් සහ සුභසාධක සංවිධාන බැගැහැපත්ව ආයාචනය කරයි.

t

o

p