Lockdown එකට සිංහලෙන් ‘අඩස්සිය’ කියමු ද ?

March 21, 2020

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් රෝගය මුල් කොට බහුල ලෙස භාවිතයට ගනු ලබන වදනක් වනුයේ Lockdown යන්නය.

කිසියම් අවදානම් සහගත තත්වයක් යටතේ පුද්ගලයන්ට ස්ථානයකින්, ප්‍රදේශයකින් පිටවීමට හෝ බාහිර පුද්ගලයන්ට එම ස්ථානයට පිවිසීමට අවසර නොදෙන මෙම ඉංග්‍රීසි වදනෙහි සිංහල අර්ථය වනුයේ ‘අගුළු හෙලීම’ යන්නය.

එහෙත් එමගින් Lockdown යන ඉංග්‍රීසි වදනෙහි නියම සිංහල අරුත පළ නොවේ. ඒ නිසාම බොහෝ සිංහල මාධ්‍යයන්හි එය ඉංග්‍රීසි බසින්ම භාවිතා කෙරෙන හා ඒ සම්බන්ධ විවිධ සිංහල වදන් යෙදෙනු දක්නට ලැබේ.

මෙම Lockdown යන අදහසට බෙහෙවින්ම සමීප අරුතක් සහිත සිංහල වදනක් තිබේ. එනම් ‘අඩස්සිය’ යන්නය. රඳවා තැබීම, අවහිරය ආදී අරුත් ගෙනෙන මෙම වදන දහඅට වන සියවසේ ලියැවුණු ‘රාජාවලිය’ කෘතියේද තිබේ. එමෙන්ම එලෙස අවහිර කිරීම පිණිස යොදා ගනු ලබන යෂ්ටි ‘අඩස්සි පොලු’ ලෙසද ජනවහරේ එයි.

මෙම අඩස්සිය යන වදන මුත්‍රා අවහිරතාවයන් ඇඟ වීම පිණිස ද අපගේ බස් වහරෙහි යෙදේ. ඒ අනුව Urinary obstruction යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන තත්වය මුත්‍රා අඩස්සිය ලෙස දේශීය වෛද්‍ය ශාස්‍ත්‍රයේ දක්නට ලැබේ.

මෙම ‘අඩස්සිය’ යන්න බන්ධනාගාරගත කිරීම (Imprisonment) යන අරුතින් ද සිංහලයේ දැක්වෙන අතර නීතිමය   තත්වයන් යටතේ යමෙකු නිවස තුළම රඳවා තැබීම නිවාස අඩස්සියේ තැබීම (house arrest) යනුවෙන් හැඳින්වේ.

ඒ කෙසේ හෝ වසංගත රෝග නිරෝධායන ක්‍රියාවලිය ලෙස යමකු එලෙස නිවාස අඩස්සියේ තැබීම අතීතයේ සෑම ජන සමාජයකම පැවති බව නොරහසකි.

අප පැරණි ජන සමාජයේ දෙවියන් ගේ ලෙඩ වශයෙන් හැඳින්වුණු වසූරිය, පැපොල, සරම්ප, කම්මුල්ගාය වැනි වසංගත රෝග තත්වයන් පාලනය කිරීම පිණිස රෝගියා තම නිවාස අඩස්සියේම රඳවා තැබුණු අතර ඒ බව අන්‍යයන්ට හැඟවීම පිණිස එම ගේ උළුවස්සේ, දොරකඩ, කඩුල්ල අද්දර කොහොඹ අත්තක් ප්‍රදර්ශනය කෙරිණ. ඒ එම නිරෝධායන ක්‍රියාවලිය වඩාත් අර්ථ සම්පන්න වීමටය.

ඒ අනුව මෙම කොරෝනා වෛරස රෝගයත් සමග සමාජ භාවිතයට පැමිණි Lockdown යන ඉංග්‍රීසි වදන ‘අඩස්සිගත කිරීම’ හෝ ‘අඩස්සියේ තැබීම’ යනුවෙන් සිංහලයට හරවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනමාධ්‍යවේදීන් අවධානය යොමු විය යුතුව තිබේ.

තිලක් සේනාසිංහ  

t

o

p