රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමේ ගැසට් නිවේදනය අවලංගු කරනු

September 12, 2019

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි දැඩිව හෙලා දකිමු .

සියලු රූපවාහිනී නාලිකාවලට (ටෙලිවිෂන්) බලපත්‍ර ලබාදෙනුයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පනත යටතේ වන අතර එම බලය පැවැරී ඇත්තේ පනත ක්‍රියාත්මක කරන අමාත්‍යාංශය බාර අමාත්‍යවරයාටය. ඒ අනුව මෙම නව පවරා ගැනීමත් සමඟ රූපවාහිනි බලපත්‍ර (ටෙලිවිෂන්) ලබාදීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශය භාර ජනාධිපතිවරයාටම පැවරේ. මේ සියල්ල නියාමනය කිරීමට බලය ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත ක්‍රියාත්මක කරන්නේ ද ආරක්ෂක අමාත්‍යාංශයයි.

දීර්ඝ කාලයක සිට රාජ්‍ය මාධ්‍ය විධායකයේ අදිසි හස්තයට යටවී විධායකයේ සහ පවතින රජයේ වුවමනා එපාකම් ඉටු කරන ස්ථාන බවට පත්ව තිබිණි. රාජ්‍ය මාධ්‍ය ආයතන ස්වාධීන ආයතන බවට පත්කරන ලෙස ජනමාධ්‍ය සමාජයෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් විණි. එම ඉල්ලීම් නොසලකා හරිමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම භයානක තත්ත්වයක් බව පෙන්වාදෙනු කැමැත්තෙමු.

පාඩු ලබන ජාතික රූපවාහිනිය කළමනාකරණය කිරීම සඳහා ගන්නා ලද වෙනස්කම්වලට ජනාධිපතිවරයා බාධා කළ බවට ජනමාධ්‍ය විෂය භාර අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර එය ද බරපතළ චෝදනාවකි.

 අංක 2140/2 දරන අති විශේෂ ගැසට් නිවේදනය යටතේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා සිය බලතල අවභාවිත කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ගය වැරැදි පූර්වාදර්ශ සපයනවා මෙන්ම ජනමාධ්‍ය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරන ලද දරුණු පහරක් යැයි අපි විශ්වාස කරමු.

ඉදිරියේදී ජනාධිපතිවරණයක් ඇතුළු මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබියදී සහ ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය සැකයට තුඩු දෙන්නකි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය මෙන්ම තොරතුරු වාර්තා කිරීමට ඇති අයිතිය සහ නිදහස ද තහවුරු විය යුතුය. එවැනි තත්ත්වයක් තුළ ආරක්ෂක අමාත්‍යාංශය යටතට ජනමාධ්‍ය විෂයට අයත් ශ්‍රී ලංකා රූපවාහිනි සංසස්ථාව පවරා ගැනීම කනගාටුදායක සහ තදබල සැකයට තුඩු දෙන කරුණක් බව අපගේ විශ්වාසයයි.

එබැවින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථා පනත ක්‍රියාවට නැංවීම ආරක්ෂක අමාත්‍යාංශයට පවරමින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරමින් මෙය වහාම නිවැරැදි කරන්නැයි ද ජනමාධ්‍ය විෂයට අදාළව කැබිනට් අමාත්‍යවරයකු පත් කරන්නැයි ද අපි ඉල්ලා සිටිමු.

– ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය –

t

o

p