එජාපයේ හදිසි යෝජනාව විවාදයට ගැනීම කතානායකවරයා ප්‍රතික්ෂේප කරයි

March 19, 2014

speaker chamal rajapaksaවිපක්ෂය විසින් දැනටමත් භාරදී ඇති විශ්වාසභංග යෝජනාවේ සඳහන් වන හෙරොයින් භාවිතය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා මහතා අද (19) පාර්ලිමේන්තුවේදී  හදිසි සහ වැදගත් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ යෝජනාව, විවාදයට ගැනීම කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළේය.

මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ස්ථාවර නියෝග 17 /2 (ඇ) යටතේ ඉදිරිපත් කළ යෝජනාව ප්‍රතික්ෂේප වීමත් සමඟ සිය අසුන්වලින් නැගිට පුවරු ප්‍රදර්ශනය කරමින් සභාව තුළ ඝෝෂා කළහ. මේ නිසා පස්වරු 3.00ට කතානායකවරයා විනාඩි 15ක කාලයක් සඳහා සභාව කල් තැබීය.

මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර අනුමැතිය ලබා ගත යුතුව තිබේ. මේ යෝජනාවේ අන්තර්ගතය දැනට භාරදී න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති විශ්වාස භංග යෝජනාවේද සඳහන් වන බව පැවසූ කතානායකවරයා එම යෝජනාව ලබන අප්‍රේල් මාසයේදී විවාදයට ගැනීමට ඉඩ ලබා දී ඇති නිසා අද මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව දන්වා සිටියේය.

තමන් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරු 20 දෙනෙකු සමඟ බව මෙහිදී පෙරේරා මහතා ප්‍රකාශ කළ විට එජාපයේ මන්ත්‍රීවරු ඝෝෂා කරන්නට වූහ.

ඊට විරෝධය පළ කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මූලාසනය තීන්දුවක් දී ඇති නිසා මේ පිළිබඳව සාකච්ඡා කළ නොහැකි බවත් විශ්වාස භංගයට අප්‍රේල් මාසයේ සභා රැස්වීම් පැවැත්වෙන පළමු සතියේ හෝ වෙනත් විශේෂ දිනයක් හෝ ලබාදීමට පක්ෂ නායක රැස්වීමේ දී එකඟත්වයකට පැමිණ තිබියදී මැතිවරණය බලාගෙන විරෝධතා දක්වන බවත් පැවසීය.

මෙහිදී කරුණු දැක්වූ විපක්ෂ නායකවරයා පක්ෂ නායක රැස්වීමේදී කුමන තීරණ ගත්තත් පොදු හදිසි කටයුතු නතර කළ නොහැකි බව කීය.

ඊට පිළිතුරු දුන් ගුණවර්ධන මහතා විශ්වාස භංගයට දින දෙකක් ඉල්ලුවාම අප එය දුන්නා. දැන් ඡන්දය බලාගෙන පැයක විවාදයක් ඉල්ලනවා. මේ කුඩු රටට ආවේ එජාපයේ විවෘත ආර්ථිකය නිසා යැයිද කීවේය.

මේ අවස්ථාවේදී එජාපයේ මන්ත්‍රීවරු නැගිට ඝෝෂා කරන්නට වූහ. මෙහිදී රීති ප්‍රශ්නයක් මතු කළ ඒ.එච්.එම්. අස්වර් මහතා මූලාසනයේ නියෝග නොතකා ක්‍රියා කරන මන්ත්‍රීවරු නම් කරන ලෙස ඉල්ලා සිටියේය. මීට පෙර මෙවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇති වූ අවස්ථාවක සමසමාජ පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ සිටි මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නම් කර සභාගැබෙන් ඉවත්කළ බව අස්වර් මහතා පැවසීය.

අපට විවාදයක් දෙන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ කතානායකවරයා මෙය හදිසි පොදු කරුණක් නොවන්නේ මෙයට අදාළව භාරදී ඇති විශ්වාස භංග යෝජනාව පිළිගෙන ඇති නිසා යැයි කීය.

කතානායකවරයා සභාව කල් තබා මූලාසනයෙන් ඉවත්ව ගිය පසු සෙංකෝලය තැන්පත් කර ඇති පීඨිකාව ඉදිරි පිටට පැමිණි මන්ත්‍රීවරු සටන් පාඨ කියන්නට වූ අතර රජය පැත්තෙන් ඊට ප්‍රතිවිරුද්ධ කරුණු කීහ.

අනතුරුව සභාව පස්වරු 3.20ට යළි රැස් වූ විට සභාවේ කටයුතු නියමිත පරිදි ආරම්භ කෙරිණි.

Courtesy: Department of Government Information

The Editor

Previous story Next story

Leave a comment

t

o

p