අගමැතිතුමා ගොඩ ගන්න අපහසුයි කිව්ව සතොස මම ගොඩ ගත්තා

March 26, 2017

‘‘රජය පිහිටවන අවස්ථාවේ දී ලංකා සතොස පාඩු ලබන ආයතයක් බවට පත්ව තිබුණේ බිලියන ගණනක් වටිනා කල් ඉකුත් වූ බඩු ගබඩාවල ගොඩ ගසාගෙන වසර ගණනාවකින් ගිණුම් වාර්තා නිසි පරිදි සකස් නොකර තිබූ නිසා බවත් වෙළෙඳ සැල් සියල්ල ජාලගත නොකිරීමෙන් කාර්යක්ෂමතාව අඩුවී තිබූ බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීණ් මහතා පවසයි. “

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති රැස්වීමක දී අදහස් දක්වමිනි. තම අමාත්‍යාංශයට ලංකා සතොස භාරදුන් අවස්ථාවේ දී මෙය ගොඩගැනීමට අපහසුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවා පැවසූ බව අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

ඇමතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘සතොස ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීම ලොකු අභියෝගයක් වුණා. අපි අද ඒ අභයෝගය ජයගෙන තිබෙනවා. මට ලංකා සතොස භාරදුන් අවස්ථාවේ අගමැතිවරයා ද කීවා මෙය ගොඩගැනීමට අපහසු ආයතනයක් බව. මා මේ ගැන කල්පනා කළා. ලංකා සතොස කියන්නේ සිල්ලර වෙළෙඳාම කරන රාජ්‍ය ආයතනයක්. පුද්ගලික අංශයට ලාභ ලබමින් තමන්ගෙ වෙළෙඳ සැල් වැඩිදියුණු කරමින් යන්න පුළුවන්නම් ඇයි අපිට බැරි. මේ සඳහා මා ලෝකයේ පිළිගත් කේ.පී.එම්.ජී ආයතනයෙන් උපදෙස් ගත්තා. ඔවුන් අපිට නිර්දේශ රැසක් ලබා දුන්නා. ඒ උපදෙස් අනුව අපිට අවශ්‍ය වුණා ලංකා සතොස සියලුම ශාඛා ජාලගත කරන්න. මේ පරිගණකගත නොකිරීම නිසා එක්තැනක අඩුවන බඩු ගැන, විකිණෙන බඩු ගැන ඉතිරිවන බඩු ගැන පාලන අධිකාරිය දන්නේ නැහැ. එක එක තැන්වල කළමනාකාරවරු තම හිතුමතයට වැඩ කළා. තමන්ට වැඩි කොමිස් මුදලක් ලැබෙන විදියට වැඩ කරලා තිබුණා. ලංකා සතොස ගිණුම් වසර ගණනකින් විධිමත්ව පරීක්ෂා කරලා තිබුණේ නැහැ. අපි මේ සියල්ල යළි සකස් කළා. සියලු සතොස ශාඛා ජාලගත කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ ම සීසීටීවී කැමරා මේ ශාඛාවන්හි සවිකරගෙන යනවා. අපි ලංකා සතොස ශාඛා ලෝකයේ සුපිරි වෙළෙඳ සැල්වල ඇති සියලු නවීන ආංගෝපාංග සහිතව සකස් කරගෙන යනවා. ලෝක ප්‍රමිතීන් අනුව සකස් කරනවා. එයින් අපිට වැඩි ලාභයක් ලබා ගන්න වගේම කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න හැකියාව ලැබෙනවා. අපේ ගබඩවල බිලියන ගණනක් වටිනා කල් ඉකුත්වූ ද්‍රව්‍ය ගොඩගසා තිබුණා. මේ නිසා මේ ආයතනය පාඩු ලැබුවා. දැනටමත් ලංකා සතොස ලාභ ලබන ආයතනයක් බවට පත්කරන්න අපිට හැකිවුණා. එය විශාල ජයග්‍රහණයක්. මේ වර්ෂය අවසන්වීමට පෙර අපි බලාපෙරොත්තු වෙනවා ලංකාව පුරා සතොස ශාඛා 500ක් ආරම්භ කිරීමට. එහි දී 28 වැනිදා අපි ඓතිහාසික කාර්යයක් කරනවා. ඒ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සහභාගීත්වයෙන් එකම දිනයක එකම වේලාවක දී ශ්‍රී ලංකාව පුරා සතොස ශාඛා 50ක් විවෘත කරනවා. මෙය ඓතිහාසික අවස්ථාවක්“

ලංකා සතොස ශාඛා 500ක් ඇතිකිරීමෙන් පසු ලංකා සතොස ශාඛා බිහිනොකර සමූපකාර ප්‍රාදේශික මට්ටමින් බලයලත් නියෝජිතයන් ඇතිකරමින් මේ රජයේ සිල්ලර වෙළෙඳ ව්‍යාපාරය වැඩිදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

t

o

p