ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්ත රජයේ අවධානය

March 8, 2017

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික හා සමාජීය පසුබිම සැලකිල්ලට ගෙන මෙසේ ආයෝජන පුළුල් කිරීමට ක්‍රියාකරන බව, දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් බෙනට් මහතා (David Benette) ඊයේ (07)  පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලනික වාතාවරණය යහපත් මට්ටමක පවතින බැවින් ශ්‍රී ලංකාවේ ආයෝජන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේ ය. මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දීමටත්, යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා තාක්ෂණික ආධාර සැපයීමටත්, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහාත් සහය දැක්වීමට පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නවසීලන්ත නව මහකොමසාරිස් ­ජොවාන් කෙම්පර්ස් (Joanne Kempers) මහත්මිය ද සහභාගී වූ අතර ඇය කියා සිටියේ ශ්‍රී ලංකාත් නවසීලන්තයත් අතර රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහි දී කියා සිටියේ නවසීලන්තය, යහපාලන රජයේ ගමන්මග ශක්තිමත් කිරීම සඳහා පුළුල් දායකත්වයක් ලබා දී ඇති බවයි.

t

o

p