ඇමැතිවරු එකොළහකට වාහන ගන්න කෝටි 49ක් ඉල්ලයි

March 8, 2017

ආණ්ඩුවේ ඇමැතිවරුන් හත් දෙනකු, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකු, නියෝජ්‍ය ඇමැතිවරයකුට හා වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (4,94,962,790) ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් රජය පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය.
ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කරනා ලදී. 2016 අතිරේක ප්‍රතිපාදනය උපයෝජනය නොකළ බැවින් අමාත්‍යවරුන්ට වාහනයක් ලබා ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසුම් සඳහා බදුද ඇතුළත්ව මෙම මූල්‍ය ප්‍රතිපාදනය වෙන් කර ඇති බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42,600,000ක මුදලක්ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42,000,000ක මුදලක්ද, වාරි මාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යවරයාට හා රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 86,000,000ක මුදලක්ද, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 41,000,000ක මුදලක්ද, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් 43,000,000ක මුදලක්ද, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 43,000,000ක මුදලක්ද, තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් 43,000,000ක මුදලක්ද ඉල්ලා මේ පරිපූරකය ඉදිරිපත් කර ඇත.
තවද කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 42,548,000ක මුදලක්ද, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 43,000,000ක මුදලක්ද, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 31,341,250ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.
එසේම විපක්ෂ නායකවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 37,473,540ක මුදලක්ද මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් රථ 25ක් සහ විගණකාධිපතිවරයා සඳහා වහනයක් සඳහා බදු කුලී වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීම සඳහා රුපියල් හය කෝටි විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලාද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

t

o

p