පසුගිය රජය සමයේ බැඳුම්කර නිකුතුවලින් 80%ක් හිතවතුන් අතර බෙදා දීලා

February 28, 2017

ඉකුත් පාලන සමයේ බැඳුම්කර නිකුත් කිරීමේ දී අක්‍රමිකතා හා නීතියට පටහැනි ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබුණ ද එම ණයකර ආපසු ගෙවීමට රජයක් ලෙස ඊට බැඳී සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. එබැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් බියට පත් විය යුතු නැතැයි ද රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 27දා පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ලියාපදිංචි කොටස් හා ආයෝජන ආඥා පනත යටතේ මෙම බැඳුම්කර නිකුත් කළ යුතුව ඇත්තේ වෙන්දේසි ක්‍රමයට වුව ද එයට පටහැනි ව යමින් ඉකුත් රජයේ බලධාරීන් තම මිතුරන් කිහිප දෙනකු අතරේ බැඳුම්කරවලින් 80%කට වැඩි ප්‍රමාණයක් බෙදා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

මෙසේ වෙන්දේසි නොකර බැඳුම්කර නිකුත් කිරීම නීති විරෝධී නොවේදැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ජනමාධ්‍යවේදීන් මෙම කාරණය පිළිබඳ වඩා ගැඹුරු අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. පසුගිය රජය සමයේ එවකට මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයාගේ හිතවතුන් කිහිප දෙනෙකුට බැඳුම්කර අති විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි රවී කරුණානායක මහතා කියා සිටියේ.

මහ බැංකු ක්‍රියාකලාපය පිළිබඳව සතුටු විය නොහැකි බවත්, එහි ඇතැම් නිලධාරීන් වගකීමෙන් බැහැරව ක්‍රියාකර ඇති බවත් පෙන්වා දුන් අමාත්‍ය රවී කරුණානායක මහතා මහ බැංකුව කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවයක් ඇතැයි ද සඳහන් කළේ ය.

මාධ්‍ය හමුවට සහභාගී වූ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේ මහ බැංකු බැඳුම්කර නිකුතු ක්‍රමවේදය සම්බන්ධයෙන් නව සංශෝධන හෝ නීතිමය වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් ඒ පිළිබඳ සොයා බලන බවයි. මහ බැංකුව පාර්ශ්වයනේ කළ යුතු සංශෝධන පිළිබඳව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ නීති අංශ සමග කටයුතු කරමින් සිටින බව ද හෙතෙම පැවැසීය. ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාළ ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඊට අවශ්‍ය නීතිමය පසුබිව සකස් කිරීමට තමා සූදානම් බව ද ඒ මහතා කියා සිටියේ ය.

t

o

p