යොවුන් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිවීම සතුටට කරුණක්

February 27, 2017

යොවුන් පාර්ලිමේන්තුව තුලින් විද්‍යාමාන වනුයේ අනාගත පාර්ලිමේන්තුවක කැඩපත බවත් වත්මන් පාර්ලිමේන්තුවේ දහතුන් දෙනෙකු වන කාන්තා නියෝජනය යොවුන් පාර්ලිමේන්තුව තුළ එමෙන් දෙගුණයක් වීම සුභවාදී තත්ත්වයක් වුව ද එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ලෝකයේ දියුණු රටවල ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනය 30% ඉක්මවන බවත් කථානායකවරයා පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමයේ දශක හතක ඉතිහාසයක් සම්පූර්ණ කරන ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පරිණතභාවයට පත් ව ඇතැයි ද තරුණ කැරලි දෙකක් බිහිසුනු යුද්ධයක් මෙන්ම විවිධ දේශපාලන හැප්පිලි ඔස්සේ ඉගෙන ගත් පාඩම් වලින් එම ඉතිහාසය සැකසී ඇති බව අමතක කළ යුතු නැතැයි ද කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව පළ කළේ අද පෙරවරුවේ ජාතික තරුණ සේවා සභාවේ යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් 225 දෙනා සඳහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හිදී පැවැති විශේෂ වැඩමුළුවේදී ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්වෙමිනි.

Youth-Parlimant1වත්මන් පාර්ලිමේන්තුව කෙටි කාලයක් තුල  ආංශික කාරක සභා ක්‍රමය , තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කර ගැනීම, ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක කිරීම, විද්‍යුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම, අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම,  පාර්ලිමේන්තු සභා රැස්වීම් සජීවීව නැරඹීමට ජනතාවට අවස්ථාව සැලසීම, ලෝකයේ ඕනෑම තැනක සිට පාර්ලිමේන්තුවේ කටයුතු භාෂා ත්‍රිත්වයෙන්ම දැන ගැනීමට ජංගම අන්තර්ජාල යෙදුමක් හදුන්වා දීම, ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම, නව ආචාර ධර්ම පද්ධතියක් සඳහා මූලික පියවර ගැනීම ආදී ඉදිරි පියවර රැසක් තබා ඇති බව ද කථානායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි ජයතිලක, කුෂානි රෝහණධීර යන මහත්ම මහත්මීහු ද මෙහිදී විශේෂ දේශන පැවැත්වූහ.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් තව දුරටත් අදහස් දැක්වූ කථානායකවරයා මෙසේ ද පැවසීය.

Youth-Parlimant3රටේ මිලියන 22 කට ආසන්න ජනතාව අතරින් ඔබට යොවුන් පාර්ලිමේන්තුවේ 225 දෙනා අතර එක්වන්න හැකියාව ලැබීම විශාල භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. මේ ලැබුණ අවස්ථාව රට වෙනුවෙන් යමක් ඉටු කරන්න මූලාරම්භයක් වගේම ඔ‍බේ ජීවිත ගමනටත් හොඳ ආරම්භයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු ක්‍රමය වගේම දේශපාලන අභි‍යෝග එදා අපි දේශපාලනයට පිවිසි යුගයට වඩා දැන් වෙනස් වී තිබෙනවා.

මීට දශක කිහිපයකට පෙර දේශපාලනය තුළින් ලැබුවේ රට ‍දැය වෙනුවෙන් සේවය කිරීමේ ආත්ම තෘප්තිය සහ ගෞරවය පමණයි.  වර්තමානයේ තිබෙන ප්‍රභල සන්නිවේදන මාධ්‍ය භාවිතා කර අධම මිනිසෙක් සාන්තුවරයෙකු බවටත්, සාන්තුවරයෙකු මහා ද්‍රෝහියෙකු බවටත් පත් කරන්නට පුළුවන්.

සැබැවින්ම අද වන විට බලය දේශපාලන ප්‍රතිපත්ති අතර, තරඟයකට වඩා ලෝකයේ ප්‍රභල දැන්වීම් ප්‍රචාරක සමාගම්  අතර තරඟයක් බවට පත්ව තිබෙනවා.

Youth-Parlimant2නමුත්,  දේශපාලනඥ‍යෙකුට වඩාත්ම ගැඹුරුම ගණුදෙනුව තිබෙන්නේ ස්වකීය හෘද සාක්ෂිය සමගයි. පිරිසිදු දෑතින් දේශපාලනයට පැමිණ පිරිසිදු දෑතින් සමුගෙන යන්නට හැකි නම් දේශපාලනයට පිවිසෙන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම මන්ත්‍රී ආචාර ධර්ම පිළිබඳව විශාල කතිකාවක් පසුගිය කාලයේ ඇති වුනා.  අපට අද එහි ඉදිරි පියවර රැසක් තබන්නට හැකි වී තිබෙනවා.  ගරු මන්ත්‍රීතුමා කියලා කථා කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් අපට අවශ්‍යයි.  යොවුන් පාර්ලිමේන්තුවටත් මේ ආචාර ධර්ම ඉතාම වැදගත් වේවි.  විශේෂයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට උපරිම ලෙස සහභාගී විය යුතුයි.  එසේ නොහැකි නම් මන්ත්‍රීධූරය භාර ගැනීම කිසිසේත්ම තේරුමක් නැති දෙයක්.  පසුගිය යොවුන් පාර්ලිමේන්තුවලදී වැදගත් හරවත් සංවාද ඇති වුන බව මා දන්නවා.

ඇත්තටම රටේ ‍දේශපාලනය පමණක් නොවෙයි, ලෝක ආර්ථික දේශපාලන  සමාජ ප්‍රවණතා ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි.  අද මුළු ලොවම එකම ගමක් බවට පත්ව තිබෙනවා.  ඒ තුළ ඔබ ලෝක පුරවැසියෙක් බවට පත්ව තිබෙනවා.  අද වන විට අපගේ පාර්ලිමේන්තුව තුළිනුත් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩ නැංවීම ආරම්භ කර තිබෙනවා.

ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු ක්‍රම පිළිබඳව අත්දැකීම් ලබා ගැන්මට මන්ත්‍රීවරුන් අතර දැනුම හුවමාරු කිරීම් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම ජනතා අවශ්‍යතා ඉටු කරන්නට යොවුන් පාර්ලිමේන්තුවටත් යම් මුදලක් වෙන් වීම ඉතාම සතුටට කරුණක් බවත්, පසුගිය කාලයේ වෙන් වුණු මුදල්වලට වඩා දියත් කළ ව්‍යාපෘතිවල වටිනාකම විශාල ප්‍රමාණයකින් වැඩි වීම සහ සම්පූර්ණ මුදල් ප්‍රමාණය යොදා ගෙන ඵලදායී ලෙස කටයුතු කිරීම අප පාර්ලිමේන්තුවටත් වැදගත්  ආදර්ශයක් ලබා දී තිබෙන බව ද කථානායකවරයා පැවසීය.

t

o

p