GMP සහතිකය සියළුම ආපන ශාලාවලට අනිවාර්ය කරන්න

February 27, 2017

ආපන ශාලාවල යහපත් නිෂ්පාදන පවතින බව තහවුරු කෙරෙන GMP සහතිකය සියලුම ආපන ශාලාවලට අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලෙස ඉල්ලමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඉකුත් 2015 ජුනි 11දා, GMP සහතිකය අදාළ ආපනශාලාවලට ලබාදීම මගින් වඩාත් ගුණාත්මක සේවාවක් පාරිභෝගිකයාට ලබාදීමට අදාළ නීති සකසා ඇත. අදාළ නීතිය මෙම වසරේ ජනවාරි මස 01දා සිට ක්‍රියාත්මක විය යුතු නමුත් ප්‍රමිති ආයතනය දක්වන පරිදි මතෛක් GMP සහතික කිසිදු පාසල් ආපනශාලාවක් ලබා ගෙන නැතැයි එම ලිපියේ සඳහන් කර ඇත.
ඒ හේතුව නිසා විශේෂයෙන්ම පාසල් ආපනශාලාවලින් එදිනෙදා ආහාර ලබාගන්නා පාසල් සිසුන් අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම GMP සහතිකය පිරිනමන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරන ලද පාරිභෝගික අධිකාරියේ ආපනශාලාද මතෛක් GMP සහතික ලබා නොමැති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

t

o

p