කඩිනමින් දේශපාලන විසදුමකට එන්න ඉන්දියාව රජයට කියයි

February 26, 2017

ශ්‍රී ලංකාවට මුළු ලෝකයේම සහයෝගය ලැබි තිබෙන මේ අවස්ථාවේ ජනවර්ගයන් අතර පවතින ගැටලුවට දේශපාලන විසඳුමකට කඩිනමින් පැමිණෙන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. දේශපාලන විසඳුමක් සඳහා මෑත ඉතිහාසයේ උදාවූ හොඳම අවස්ථාව මෙය යැයි ද ඉන්දියාව රජයට වැඩිදුරටත් දැනුම් දී ඇත. ඉන්දියාව විදේශ ‍ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හරහා ශ්‍රී ලංකාවට විශේෂ රාජ්‍යතාන්ත්‍රික පණිවුඩයක් එවමින් ඉන්දියාව ශ්‍රී ලංකා රජයට මේ දැනුම්දීම කර තිබේ. විදේශ ‍ලේකම් ජයශංකර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී මෙම කරුණු දැනුම් දී තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරුණු කොට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ දේශපාලන විසඳුමක් සඳහා වන අවසන් අවස්ථාවට පැමිණ සිටිතැයි ඉන්දියාවේ මතය බවද විදේශ ‍ලේකම්වරයා රජයේ ඉහළම නායකයින්ට මේ සංචාරයේදී දැනුම් දී තිබේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම මගින් සියලු පක්ෂවල එකඟත්වය යටතේ දේශපාලන විසඳුමක් දිය හැකිය යන්න ඉන්දියාවේ ස්ථාවරය යැයිද ඉන්දීය විදේශ ‍ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

t

o

p