වෙසක් උළෙලට මෝදි ලංකාවට

February 20, 2017

ශ්‍රී ලංකාවේදී මේ වසරේ පැවැත්වෙන 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක්දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු  අමාත්‍යාංශය පවසයි.
මැයි 12 වනදා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දේ.
ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන් සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක්  සහභාගිවීමට නියමිතය.
ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය,  කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලාඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත්ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙසක් සැමරුම් දිනයක් 1999 වර්ෂයේදී ප්‍රකාශයට පත් කළේ එවකට මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කදිරගාමර්ගේ යෝජනාවකට අනුවය.

t

o

p