ශී‍්‍ර ලංකාවට පීඩනයක් යෙදවීමට මානව හිමිකම් අවියක් කර ගැනීම තම රජය දැඩි ලෙස හෙළා දකිනවා

March 18, 2014

Chinese Deputy Ambassador in Colombo Ren Faqiang– නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කොමිසම හමුවට මාර්තු මස අග ඉදිරිපත් කෙරෙන යෝජනාවේ දී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට චීන රජය සූදානම් බව ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය චීන තානාපති රෙන් ෆාෂියෑන් මහතා අවධාරණය කරයි.

දශක තුනක ත‍්‍රස්තවාදය නිමා කිරීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් කඩවීමක් තමන්ට නම් පෙනෙන්නේ නැති බව පැවසූ ඒ මහතා ශී‍්‍ර ලංකාවට පීඩනයක් යෙදවීමට මානව හිමිකම් අවියක් කර ගැනීම සම්බන්ධයෙන් තම රජය දැඩි ලෙස විරෝධය පළ කරන බවත් පැවසීය.

රෙන් ෆාෂියෑන් මහතා මෙම අදහස් පළ කළේ සංවර්ධනය කෙරුණු තිහගොඩ, කඹුරුපිටිය, මාවරළ, කොටපොළ මාර්ගය විවෘත කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මුලටියනදී ඊයේ (17) පැවති උත්සවයට එක් වෙමිනි.

මානව අයිතීන් සුරැකීමේ ප‍්‍රධානතතම සාධකය වන්නේ ත‍්‍රස්තවාදය නිමා කර සාමය දිනා දීම බව පෙන්වා දුන් ඒ මහතා සංවර්ධනය, ආගමික, සංහිඳියාව, ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම යන අංශවලින් ශී‍්‍ර ලංකාව ලබා තිබෙන වර්ධනය පිළිබඳ ඉතා සතුටට පත් වන බවත් ප‍්‍රකාශ කළේය.

දීර්ඝකාලීන මිතුරකු සහ සුහද අසල්වැසියකු වශයෙන් ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහයෝගය දෙන අතරම ජාත්‍යන්තරයේ දී මේ රටට එරෙහිව එන චෝදනාවලට එරෙහිවත් පෙනී සිටීමට චීනය සූදානම් බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

වසර තිහක් පැවති ත‍්‍රස්තවාදය නිමා කිරීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ස්තූතිය පුද කළ ඒ මහතා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ත‍්‍රස්තවාදය අවසන් කළ රාජ්‍ය නායකයා බව මේ රටේ ජනතාව කිසිදා අමතක නොකළ යුතු බවත් ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
Courtesy: priu.gov.lk

The Editor

Previous story Next story

Leave a comment

t

o

p