සහල් මිල අර්බුදයට කඩිනමින් විසඳුම් – මුදල් ඇමති රවී

February 12, 2017

සහල් මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සඳහා කඩිනමික් විසඳුමකට එළඹෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික සහල් සඳහා වන බදු පහත දැමීමට රජය පියවර ගත්ත ද එහි ප්‍රතිලාභ ජනතාවට හිමි නොවන්නේ නම් එය ගැටලුවක් බවයි. එමෙන් ම සහල් මිල පාලනය කිරීම සඳහා උපරිම මිලක් නියම කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන මුදල් අමාත්‍යවරයා, ඊට අනුගතව යමින් වෙළෙඳසැල් හිමියන් කටයුතු නොකරන්නේ නම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද සඳහන් කරයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (11) හලාවත මාදම්පෙ, සමූපකාර ශාලාවේ පැවැති රාජ්‍ය නිලධාරී, ව්‍යාපාරික, ධීවර හා ගොවි ජන හමුවකට එක් වෙමිනි. 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක වීමට අදාළව ජනතාවගේ ගැටලු විසඳීම සඳහා පැවැති මෙම හමුවේ දී ගැටලු රැසකට විසඳුම් එසැණින් ලබා ගැනීමට හැකි විය.

එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා.

“­අපට අවශ්‍ය වන්නේ සංවර්ධන කටයුතු මේ ප්‍රදේශ තුළින් ම ක්‍රියාත්මක කරන්නයි. ඒ සඳහා තමයි අපි අයවැය ලේඛනය කොළඹ ඉඳල සකස් කිරීම වෙනුවට දිවයිනේ සෑම ප්‍රදේශයකම වාගේ ජනතාව අතරට ගිහිල්ල ඔවුන්ගේ ඉල්ලීම අනුව යෝජනා පෙළ ගැසුවෙ. අපට තියෙන සීමිත සම්පත් අසීමිත ඉල්ලීම්වල ප්‍රමුඛත්වය අනුව පෙළ ගැස්සීම තමයි අප කළ යුත්තේ. කොළඹ ඉඳගෙන මෙහෙ පරිපාලන කටයුතු සිදු කිරීමට යාම අසාර්ථකයි. සංවර්ධන ගමන සඳහා වන දේශපාලන නායකත්වය අපට ලබා දෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවයේ ඉන්න ලක්ෂ 14ක පමණ පිරිස මගින් තමයි ඒ කටයුතු මෙහෙය වෙන්නෙ. අපි එකට අත්වැල් බැඳගෙන මේ ගමන යා යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් පක්ෂ භේද පසෙකලා මේ එකතු වෙලා වැඩ කරන්නෙ රටේ සංවර්ධන ගමන වෙනුවෙන්.”

සහල් මිල සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහෙ දී කරුණු දැක්වීය.

“කූඨ තොග වෙළෙඳුන් නිසා රට තුළ මතු වෙලා තියෙන සහල් අර්බුදය සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් අපි ආරම්භ කළා. ඒක සීමිත සාර්ථකත්වයක් තිබුණෙ. නමුත් අපි ආනයනික සහල්වල බදු පහත දාල උපරිම සිල්ලර මිලක් දැම්මට පස්සේ සඟවා ඇති සහල් තොග එළියට එන්න පටන් ගන්නවා. කූඨ ­වෙළෙඳුන්ගෙන් පාරිභෝගිකයා මුදා ගැනීමටත්, මේ වගේ ගැටලු ඇති නොවන විදියටත් අපි අපේ සැපයුම් ජාලය ශක්තිමක් කරන්න අවශ්‍ය වෙනවා. මේක හිතාමතා ඇති කළ ගැටලුවක්. ඒ නිසා අපි ජනතාවගේ පැත්තෙ ඉඳගෙන පාලන මිලට සහල් දීමට කටයුතු කරන බව මෙහි දී මතක් කළ යුතුයි.” යැයි ද මුදල් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන හෙක්ටර් අප්පුහාමි, අශෝක ප්‍රියන්ත, සිසිර කුමාර අබේසේකර, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

t

o

p