ඉසුර අවලංගු කළ සතිපොළ විවෘත කිරීම ප්‍රසන්න බලහත්කාරයෙන් විවෘත කරයි

February 11, 2017

අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදමින් නොසිට හැකිනම් පොරොන්දු වූ පරිදි ජනතා වෙනුවෙන් වැඩ කර පෙන්වන්නැයි තමන් යහපාලන ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ බලහත්කාරයෙන් ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.

රටට වැඩක් කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට මුල් වූයේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්නට හපන් කොන්ද පණ නැති රැළක් බව පැවසූ රණතුංග මහතා පසුගිය ආණ්ඩුව ඉදිකළ දේ තමන්ගේ වගේ විවෘත කරනවා හැර රටේ සංවර්ධනය උදෙසා කිසිදු වැඩක් කරන්නට ඔවුන්ට පුළුවන්කමක් නොමැති බවත් අවධාරණය කළේය.

එවකට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටි ප්‍රසන්න රණතුංග සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි උඩුගම්පොළ සතිපොළ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ පසුගිය රජය සමයේදීය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත රුපියල් ලක්ෂ 500ක මුදලකින් මෙම සතිපොළ ඉදිකිරීම් ආරම්භ කෙරුණ ද ආණ්ඩු පෙරළිය නිසා එහි ඉදිකිරීම් අතරමඟ නතර වී තිබුණි. එම අවස්ථාවේ දී මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ ඒකමතික තීන්දුවක් මත රුපියල් ලක්ෂ 180ක මුදලක් යොදවා සතිපොළේ ඉදිකිරීම් අවසන් කෙරිණි.

ඉදිකිරීම් අවසන් කර වසර එකහමාරක් පමණ ගෙවුණ ද ජනතා අයිතියට පත් කිරීම දිනෙන් දින කල් ගොස් තිබුණු සතිපොළ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) විවෘත කිරීමට නියමිතව තිබුණි.මේ අතර සතිපොළ නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (10) දිනයේ එම ස්ථානයට ගිය ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

එම අවස්ථාව වීඩියෝ ගත කරමින් සිටි තමන් හට රුවන් රණතුංග මහතාගේ සමීපතම ආධාරකරුවකු සහ පාතාල අපරාධකරුවකු වන පස් පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත මරණ තර්ජන එල්ල කළ බව කියමින් ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් ප්‍රදීප් අනුර කුමාර මහතා ගම්පහ පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

එම නොසන්සුන් වාතාවරණයෙන් පසුව පොළ විවෘත කිරීම වෙනුවෙන් ඉසුර දේවප්‍රිය මහතාගේ අනුමැතිය මත ඉදිකර තිබුණු සමරු ඵලකය මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසින් ඉවත් කර තිබුණු අතර විවෘත කිරීමේ උත්සවය ද අවලංගු කර දමා තිබුණි.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, මන්ත්‍රීවරුන් සමඟ එම ස්ථානයට අද (11) උදෑසන ගිය ප්‍රසන්න රණතුංග මහතා බලහත්කාරයෙන් සතිපොළ විවෘත කර වෙළෙඳ කටයුතු කරගෙන යාමට වෙළෙඳුන්ට අවස්ථාව උදා කර දුන්නේය.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අපේ රජය කාලයේ ඉදිකිරීම් ආරම්භ කරපු සතිපොළ අද ජනතා අයිතියට පත් කෙරුණා. මේ පොළට ලොකු ඉතිහාසයක් තිබෙනවා. රෙජී රණතුංග මැතිතුමාගේ මවුපියන්ට අයත් ඉඩමක තමයි මේ පොළ තිබුණේ. 1977 අපි පරාජය පත් වුණාම මේ පොළට ගිනි තියලා පොළ අයින් කළා. එදායින් පස්සේ මේ පොළ තැන් තැන්වලට ගෙනිහින් වෙළෙඳ ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයන් පවා අසීරුතාවට පත් වුණා.

පසුව අපි බලයට පත් වෙලා මිනුවන්ගොඩ ආසනයේ පොළවල් හතරෙන් තුනක් අපි ඉදිකළා. මිනුවන්ගොඩ, නයිවල පොළවල් අපි මීට පෙර ජනතා අයිතියට පත් කළා. අද දවසේ උඩුගම්පොළ සතිපොළ අපි ජනතාවට පවරා දුන්නා. අපේ රජයක් තිබුණා නම් මේ පොළ මීට වඩා හොඳට විවෘත කරන්න තිබුණා. විවෘත කරන්න කෙනෙක් එ න්නේ නැති නිසා වසර දෙකක් මේ පොළ විවෘත කරන්නේ නැතුව හිටියා.

අද දවසේ මේ පොළ බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාගේ අතින් විවෘත කරනවා කියලා අපට ආරාධනා පත්‍ර පවා එවලා තිබුණා. අපට දේශපාලන ප්‍රශ්නයක් නැහැ. අපට වුවමනා වුණේ ජනතාව වෙනුවෙන් මේ පොළ විවෘත කරන්න විතරයි. නමුත් මෙතැනට ආවාම දැන ගන්න ලැබුණා මේ පොළ විවෘත කරන එක අවලංගු කරලා විතරක් නොවෙයි මෙතැන තිබුණු සමරු ඵලකය පවා ගලවගෙන ගිහින්.

අපි එනවා කියලා බයට මේ උත්සව කල් දැම්මට ජනතාවට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න බැහැ. ඒ අය හදපු දේවල් ඒ අයට ඕනෑ වෙලාවට විවෘත කරන්න පුළුවන් වුණාට අපි ජනතාව වෙනුවෙන් හදපු දේවල් එයාලට ඕනෑ විදියට විවෘත කරන්න බැහැ. ඒ නිසයි අපි ජනතාව වෙනුවෙන් මේ ස්ථානය විවෘත කළේ. කොන්දක් තියෙනවා නම් එයාලටත් ඇවිත් මේ අවස්ථාවට සහභාගී වෙන්න තිබුණා. මේක කඩාකප්පල් කළේ අපි නෙමෙයි උත්සවය කල් දාපු අයමයි. ආණ්ඩුව බයයයි මේක විවෘත කරන්න ඇවිත් මිනිස්සුන්ගේ හූ පාර අහන්න වෙයි කියලා.

ප්‍රසන්න රණතුංග එනවා කිව්වාම මේ තරම් බයක් ආණ්ඩුවට දැනෙනවාද කියලා මම අහන්න කැමැතියි. එදා රෙජී රණතුංග මැතිතුමා ආණ්ඩුවක් නැති අවස්ථාවේ දී එතුමාගේ ප්‍රතිපාදනවලින් හදපු උඩුගම්පොළ තැපැල් කාර්යාලය සිරිමාවෝ මැතිණිය ගෙනල්ලා විවෘත කළා. ඉතිහාසයේ වුණ දේ අපි නැවත වතාවක් උඩුගම්පොළ දී අපි කළා. මේකට අපට හයියක් වුණේ මේ මිනුවන්ගොඩ ආසනයේ අපට ඡන්දය දෙන ජනතාව.

t

o

p