පස් කැපිල්ල නවත්වන්න හදන රංජන් පස් කපන පාතාලය ගැන කතා නොකරන්නේ බය නිසාද?

February 8, 2017

පස් කැපිල්ල පිළිබඳ විශාල උනන්දුක් දක්වන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පස් කැපිල්ල පසුපස සැඟවී තිබෙන පාතාලය ගැන කථා නොකරන්නේ පාතාලයට ඇති බිය නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ පස් කැපිල්ල සහ ඒ හා බැඳුණු පාතාලය නිසා සිදුව ඇති විනාශය පිළිබඳ තමා කතා කළේ සැබෑ ජීවිතය ද චිත්‍රපටයක් යැයි සිතමින් මවා ගත් ලොවක සැරිසරන රන්ජන් රාමනායකලා ගම්පහ පස් පාගන්නටත් පෙර බව පැවසූ රණතුංග මහතා රන්ජන් සැබෑ චණ්ඩියකු නම් අහිංසක රජයේ නිලධාරිනියන්ට අඩන්තේට්ටම් නොකර මේ සැබෑ පාතාලයට එරෙහිව සටන් වැද පෙන්වන්නැයි අභියෝග කළේය.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක ගම්පහට ඇවිල්ලා තාම අවුරුදු එකහමාරක්වත් නැහැ. ඉපදුණු දවසේ ඉඳලා ගම්පහ ඉන්න මම වගේම ගම්පහ අනෙකුත් මන්ත්‍රීවරුනුත් මේ පස් කැපිල්ල ගැන දන්න තරම් රන්ජන් දන්නේ කොහොමද? පස් කැපිල්ල නිසා සිදුවන විනාශය ගැන මම මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති කාලේ දැනුවත් කරලා තිබෙනවා. ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාත් මේ ගැන දැනුවත් කළා.

පස් කැපිල්ල එක්කම එන අනෙක් දේ තමයි පාතාලය. පස් කැපිල්ල පේන රන්ජන්ට පාතාලය පේන්නේ නැත්තේ පාතාලයට තියෙන බය නිසාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපේ කාලයේ නම් පස් කැපිල්ල වගේම පාතාලයත් මර්දනය කරන්න කටයුතු කළා. හිටපු ආරක්ෂක ලේකම්තුමා පාලනය කරලා තිබ්බ පාතාලය නැවත හිස එසෙව්වේ යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සෙයි.

අද බලන්න කීදෙනෙක් දවසට ඝාතනය වෙනවද කියලා. අපේ රටත් දැන් චිකාගෝවක් වෙලා. මහ දවාලේ වෙඩි තියවා. කපලා කොටලා මරනවා. හැබැයි කාවවත් අත්අඩංගුවට අරගෙන නැහැ. චිත්‍රපටිවල චණ්ඩි දර්ශන රඟපෑවට රන්ජන් රාමනායක ඇත්ත ජීවිතේ පාතාලෙට බය නිසා වෙන්නැති මේවා ගැන කතා කරන්නේ නැත්තේ. කොහොමත් කොන්ද පණ තියෙන පිරිමියෙක් නම් ගෑණු කෙනකුට චණ්ඩි පාට් දාන්නේ නැහැනේ. හැබැයි ඉතින් පිරිමි ගණිකාවන්ට ඕවා එච්චර දේවල් නොවෙයි.

රන්ජන් රාමනායක දැන් තමන් හොයා ගත්තා වගේ කයිවාරු ගැහුවට පස් කැපිල්ල යට තියෙන පාතාලය ගැන වගේම් මේවා නිසා 48 දෙනකු මිය ගියා කියලා රටට මුලින්ම හෙළිදරව් කළේ මමයි. සමහරු කියනවා මමත් පස් කපනවා කියලා. හැබැයි මේ මිනුවන්ගොඩ වගේම රටේම බුද්ධිමත් ජනතාව දන්නවා ප්‍රසන්න රණතුංග පස් කපන්නේ නැහැ කියලා. පස් කැපිල්ල නිසා වැඩියෙන්ම හානි වෙලා තියෙන්නේ මිනුවන්ගොඩ ආසනයට. වැඩියෙන්ම විඳවන්නේ මිනුවන්ගොඩ ආසනයේ ජනතාව.

උඩින් පාත් වෙච්ච පැරෂුට්කාරයෝ නැතුවට අපි හැමදාම මිනුවන්ගොඩ ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. ඉස්සරහටත් පෙනී ඉන්නවා. ප්‍රශ්නයේ බරපතළ නොදැන බොරු මාධ්‍ය සන්දර්ශන දාලා ඡන්ද ගොඩවල් වැඩි කර ගැනීමේ පටු අරමුණු අපට නැහැ. ඡන්ද නොලැබුණත් වැරැදි දේ වැරැදියි කියන්න අපට හයියක් තිබෙනවා. ඒ හින්දා අපි ඔය පැරෂුට්කාරයන්ට කියන්නේ තවත් ජනතාව රවට්ටන්නේ නැතුව පැත්තකට ‍වෙලා ඉන්න කියලයි.

t

o

p