සජීවී විකාශයේදී ආදර්ශමත් වන්න

February 8, 2017

විවාද සජීවීව විකාශය වන බැවින් එකිනෙකාට අපහාස කර ගැනීම්, චරිත ඝාතන සිදු කිරීම් වැනි දේවල්වලට ඉඩ නොතබමින් මුළු මහත් සමාජයටම ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව විදහා පෙන්වීමට කටයුතු කරන ලෙස කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මෙසේද කීය.
දීර්ඝ කාලයක් පුරා ජනතා අවශ්‍යතාවක්ව පැවැති පාර්ලිමේන්තුවේ කටයුතු සහ විවාද සජීවී ලෙස විකාශනය කිරීම 2016 නොවැම්බර් මස 21 වැනි දින සිට අයවැය කාලසීමාව තුළදී ආරම්භ කළ බවත්, ඒ වන විට පාර්ලිමේන්තුවේ කටයුතු සභා ගර්භයේදී සිදුවන ආකාරයටම පමණක් නැරඹීමට හැකියාව තිබුණ බවත් මතක් කර දීමට කැමැත්තෙමි.
පාර්ලිමේන්තු සභා ගර්භයෙහි හයි ඩෙෆිනීෂන් ටීවී තාක්ෂණය ඔස්සේ නව අංගෝපාංග හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් වශයෙන් තවත් සාර්ථක පියවරක් ඉදිරියට තබමින් පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන මුළු කාලය තුළදීම පියෝ ටීවී 91 වැනි චැනලය ඔස්සේ පාර්ලිමේන්තුවේ සියලුම කටයුතු සහ වාද විවාද අද (ඊයේ) සිට කැමති භාෂා ධාරාවකින්, උදාහරණයක් ලෙස සභා ගර්භයේ කිසියම් මන්ත්‍රීවරයෙක් සිංහල භාෂාවෙන් කතා කරන අවස්ථාවේදීම තමන්ගේ රැචිකත්වය අනුව එම කතාවම දමිළ සහ ඉංග්‍රීසි භාෂා ධාරා ඔස්සේ ශ්‍රවණය කරමින් නැරඹීමට හැකියාව තිබෙන බව මෙම ගරු සභාවට ඉතාමත් සතුටින් දන්වනු කැමැත්තෙමි.
මෙම අලුත් ප්‍රවණතා තුළ මහජන නියෝජිතයන් ලෙස අපගේ ජනතා කාර්යභාරය ආදර්ශමත් ලෙස ඉටු කිරීමට සිතට ගනිමින් එකිනෙකාට අපහාස කර ගැනීම්, චරිත ඝාතන සිදු කිරීම් වැනි දේවල්වලට ඉඩ නොතබමින් මුළු මහත් සමාජයටම ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බව විදහා පෙන්වීමට කටයුතු කරන මෙන් සියලූම මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරවමි.
තවද පාර්ලිමේන්තු ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රශ්නවලට පිළිතුරු දෙන අමාත්‍යවරුන්ද සභා ගර්භයට නියමිත වේලාවට පැමිණ කටයුතු කිරීමත් මෙම තත්ත්වයන් තුළ අත්‍යවශ්‍ය සාධක බව කරුණාවෙන් මතක් කරන්නට කැමතියි.
මහජන නියෝජිතයන් ලෙස අපගේ කටයුතු නිසියාකාරව ඉටු කිරීමට අ‍පොහොසත් වුවහොත් අප රටේ මහජනතාව පාර්ලිමේන්තුව කෙරෙහි තබා ඇති විශ්වාසය හා ගෞරවය බිඳ වැටීමට ඉඩ ඇති බවද මන්ත්‍රීතුමන්ලාගේ අවධානයට යොමු කරවනු කැමැත්තෙමි.

t

o

p