දිවුලපිටියේ පස් කැපීම ගැන ප්‍රශ්නයෙන් මැතිසභය උණුසුම් වෙයි

February 8, 2017

දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වූ විවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ අද (07) දැඩි උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් එකිනෙකාට පරුෂ වචනයෙන් චෝදනා කර ගැනීම නිසා එම විවාද හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව පැවැසීමට හා එවැනි වචන භාවිත නොකර ආදර්ශමත් වන්නැයි දන්වා සිටීමට කථානායක කරු ජයසූරිය මහතාට කිහිපවරක්ම සිදුවිය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉඩම් ඇමැතිවරයාගෙන් අසා තිබූ ප්‍රශ්නයකට සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පිළිතුරු දීමත් සමග මේ උණුසුම් තත්ත්වය ඇති විය.
දිවුලපිටිය ආසනයේ පවතින රජයේ ඉඩම් පිළිබඳ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා විමසා තිබූ අතර ඊට පිළිතුරු දීමට නැගී සිටි රන්ජන් රාමනායක මහතා පිළිතුර සභාගත කොට පසුව දිවුලපිටියේ පස් ජාවාරමක් පිළිබඳ කතා කරන්නට විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා-
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඉඩම් ඇමැතිවරයා නැතිනම් නියෝජ්‍ය ඇමැතිවරයාට පිළිතුරු දෙන්න පුළුවන්. එම දෙදෙනාම නැතිනම් ආණ්ඩු පක්ෂ සංවිධායකට හෝ සභානායකට පිළිතුරු දෙන්න පුළුවන්. එහෙම තියෙද්දී මේ කොහේවත් නැති නියෝජ්‍ය ඇමැති කෙනකුට මෙතන පිළිතුරු දෙන්න බැහැ. එහෙම සම්ප්‍රදායක් පාර්ලිමේන්තුවේ නැහැ.
සභානායක ඇමැති
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- උත්තර දෙනවට ඇයි බය… කාලීන ප්‍රශ්නයක් ඇසුවාම ඇමැතිවරයාට පිළිතුරු දෙන්න පුළුවන්. මන්ත්‍රීවරු කැමතියි ඇත්ත දැන ගන්න.
විපක්ෂයෙන් බාධා…. එහෙම කරන්න බැහැ යැයි මහ හඩින් කෑ කෝ ගසයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා-
ස්ථාවර නියෝග 27 අනුව මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් ඇහුවාම ඇමැතිවරයාට, නියෝජ්‍ය ඇමැතිවරයාට පිළිතුරු දෙන්න පුළුවන් වගේම අගමැතිවරයාටත් පිළිතුරු දෙන්න පුළුවන්. අගමැතිවරයාට තියෙන අවස්ථාව මම රන්ජන් රාමනායක ඇමැතිතුමාට භාර දුන්නා.
“බැහැ බැහැ…. ඒක වැරදි පූර්වාදර්ශයක්. කථානායකතුමනි, මේ ගැන අවධානය යොමු කරන්න… යැයි කියමින් විපක්ෂ මන්ත්‍රීවරු යළිත් කෑ කෝ ගසන්නට වූහ.
සභානායක-
ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ කියලා මේ ගොල්ලෝ චෝදනා කරනවා. උත්තර දෙන්න ආවාම එපා කියනවා…. මොකක්ද මෙයාලගේ ප්‍රතිපත්තිය…
නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා-
කාලීන ප්‍රශ්නයක් මේක…. පස් හොරු කථානායකතුමාගේ ආසනය වන මීරිගම වගේම ගම්පහ දිස්ත්‍රික්කයම විනාශ කරනවා. රජය සතු ඉඩම් ගැන අහන්නේ ඒවත් හාරන්නද දන්නේ නැහැ…..
(රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාට කළ චෝදනා හා යම් යම් වචන හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව කථානායකවරයා මේ කතාව අතර ප්‍රකාශ කළේය.)
කථානායක- ස්ථාවර නියෝග අනුව කටයුතු කරමු. ස්ථාවර නියෝග කඩ කරලා අලුත් සම්ප්‍රදායක් ඇති කරන්න දෙන්න බැහැ. ඒ නිසා අගමැති හෝ සභානායක හෝ අගමැති පිළිතුරු දෙන්න.
(යළිත් ආණ්ඩු පක්ෂ  මන්ත්‍රීවරු රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා මේ පිළිතුරදීමට සුදුසු බව ප්‍රකාශ කිරීමටත් විපක්ෂ මන්ත්‍රීවරු එය සම්ප්‍රදාය කඩකිරීමක් බවටත් කෑ කෝ ගැසීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.)
කථානායක- සම්ප්‍රදායන් රකින්න. කථානායක පුටුවේ ඉන්න කොට මට සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කරන්න බැහැ.
(අවසානයේ ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මන්ත්‍රීවරයාගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.)

t

o

p