සමහර ඇමතිවරු කකුලෙන් ඇද්දත් ජනපති අගමැති එක්ව හොඳ ගමනක් යනවා

February 6, 2017

ජනපති අගමැති එක්ව යහපාලන රජයක් බිහි කිරීමෙන් පසු රජයට එක්ව ඇමැතිකම් ගත් පිරිස අතරින් දෙතුන් දෙනෙකු රජයට ප්‍රශ්න ඇති කරන්නට උත්සහ කරන බවත් ජනපති හා අගමැති එක් ගමනක් යන බව ඔවුන් තේරුම් ගත යුතු බවත් මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා පවසයි.

එදා යහ පාලන රජය බිහිවීම වැලැක්වීම පිණිස කටයුතු කළ පිරිස් ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුවට එකතුවී ප්‍රශ්න ඇති කිරීම තුළින් පැහැදිලි වන්නේ ඔවුන් තුළ පවත්නා ඊර්ෂායව බවද ඒ මහතා කීය.

මුදල් ඇමැතිවරයා ඊයේ (05) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්යාද ලබා ගත්තේය.අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා තමන් කටයුතු කරන්නේ ජනපති හා අගමැති උපදෙස් මත බවත් එක් එක් ඇමැතිවරු කියන දේ ඉටු කරන්නට තමන් සූදානම් නොමැති බවත් අවධාණය කළේය.

රජයේ යුතුකම හා වගකීම වන්නේ ජනවාරි 08 දින මෙරටේ අහිංසක ජනතාව ජනපතිට හා අගමැතිට දුන් ජනවරම ක්‍රියාත්මක කිරීම බවත් ආණ්ඩුව පිහිටවූවාට පසු ආණ්ඩුවට එක්ව ඇමැතිකම් ගත් ඇතැමුන් සිදුකරන විවේචන පලරහිත බවත් හෙතෙම කීය.

වැඩ නොකරන අයගේ අමාත්‍යාංශ වල මුදල් කපා හැරිවිට තියෙන බඩේ ගායට කියන ප්‍රකාශ වලට තමන් උත්තර නොදෙන බවත් රජය බදු මුදල් අඩුකර නාස්තිය දූෂණය අවමකර ජනතාවාදී ගමනක් යමින් සිටින බවත් මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇතැම් ආණ්ඩුකාරවරු මහඅමැතිවරු කරන ප්‍රකාශ පදනම් කර ගනිමින් ක්‍රියා කරන්න ගියොත් රට අර්බුදයකට පත් වන බවත් ජනපති හා අගමැති ව්‍යවස්ථානුකූලව ක්‍රියා කරමින් රටේ එකීය භාවය ආරක්ෂ කර ගනිමින් සියලු ජාතීන් අතර සහජීවනය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් කරුණානායක මහතා කීය.

යහ පාලන රජය තුළ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයටත් එහා ගොස් තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කර තිබෙන බවත් ඇද සුදු වෑන් සංස්කෘතිය හෝ පැහැර ගැනීම්,පහරදීම් සිදු නොවන බවත් කී ඇමැතිවරයා පසුගිය රජයේ වැරදි කළ පිරිස් වලට දඬුවම් ලබාදීම ප්‍රමාද වන්නේ සියල්ල නීතියට අනුකූලය සිදු කෙරෙන නිසා බවද ප්‍රකාශ කළේය.

මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙනම බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාව් උන්වහන්සේලා හමුවේ අදහස් දැක්වූ ඇමැතිවරයා අයවැය සකස් කිරීමේදී මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ කළ යෝජනා ඊට ඇතුළත් කළ බව පැවසුවේය.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේ උදෙසා මාසික දීමනාවක් ලබාදීම පිණිස කළ යෝජනාවට අනුව මෙවර අයවැයෙන් ඊට මුදල් වෙන්කළ බවත් එම මුදල් අදාළ භික්ෂූන් වහන්සේ වෙත ලබාදීම කෙසේ සිදුවිය යුතුද යන්න පිළිබඳව මහනාහිමිවරු අනුශාසනා පරිදි වැඩපිළිවෙළක් දියත් කරන බවත් ඒ මහතා කීය.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහනාහිමියෝ බදු නොමැතිව රටක් පාලනය කළ නොහැකි බවත් බදු පනවීම් සිදු කළත් අත්‍යවශ්‍යය භාණ්ඩ මිල ඉහළ යා නොදී පවත්වා ගැනීම රජයේ වගකීමක් බවත් ප්‍රකාශ කළහ.

පසුගිය ජනපතිවරණයෙන් පසු මෙරට අත්‍යවශ්‍යය භාණ්ඩ 25 කින් 24 කම මිල එදාට වඩා පහතට ගෙන ඒමට රජය ක්‍රියාකර ති‍බෙන  බව මෙහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Ravi-Karunanayake1

t

o

p