අපි ගාව ඉන්ටවල් නැහැ – චක්‍රලේඛය අහෝසි කරනතුරු සටන් කරනවා

December 25, 2016

බාහිර උපාධිය කප්පාදු කිරීමට ආණ්ඩුවෙන් ගෙනආ 2016/13 චක්‍රලේකය අහෝසි කොකර රැවටිලිකාර විසඳුම් ලබාදීමට එරෙහිව විරෝධය පාමින් බාහිර උපාධිය සුරැකීමේ සංවිධාන එකතුව විසින් ඊයේ (24) කෑගල්ල නගරයේදී උද්ඝෝෂණ පාගමනක් පැවැත්විය. ඒ සඳහා බාහිර උපාධි ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, දෙමව්පියන් හා විවිධ සංවිධාන රැසක් ඒ සඳහා එක්විය. කෑගල්ල පොලීසිය විසින් විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදුන්නද පැය 2කට ආසන්න කාලයක් පාගමක් හා උද්ඝෝණය පැවැත්විය.

එහිදි අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා…

ඔබ දන්නවා මේ අවුරුද්දේ අගෝස්තු 31 වන දා සිට තමයි අපේ රටේ දුප්පත් අම්මා තාත්තාගේ දූදරුවන්ගේ බාහිර උපාධි ලබාගැනීමේ අයිතිය මේ යහපාලනය විසින් උදුරා ගත්තේ. ඊට පස්සේ බාහිර උපාධි ශිෂ්‍යන් ගුරුවරුන් දෙමාපියන් ඇතුළු අපි සියලු දෙනා ඊට එරෙහිව රට පුරා අරගල කරන්න පටන්ගත්තේ. අපි GAQ කියලා කියද්දි මොකක්ද මේ GAQ කියන්නේ කියලා අහන්න පටන් ගත්තා. ඒ ගොල්ලෝ GAQ ගැන දන්නේ නෑහැ. ඒ ගොල්ලෝ දන්නේ බාබකිවු ගැන විතරයි. හැබැයි අපි කියන්න කැමතියි රට පුරා අපි පටන් ගත්ත සටන නිසා තමයි ජනාධිපතිතුමාට සිද්ධවුණේ අපට සාකච්ඡාවක් දෙන්න. ඒ නිසා අපි ඒ ජයග්‍රහණය ගත්තා.

එහි දී ජනාධිපතිතුමා පොරොන්දුවක් දුන්නා. එකක් තමයි සාධාරණ විසදුමක් දෙනවා කියලා. දෙවැනි එක තමයි එයාගේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය කප්පාදු කරන එක නෙවෙයි කියලා. අපි අහනවා ජනාධිපතිතුමාගෙන්, ඔබ ඔබේ පොරොන්දුව දීලා අදට දවස් 33යි. හැබැයි ඒ දවස් 33 තුළදී 2014 ළමයින් එක්කෙනෙකුටවත් තාම ලියුමක්වත් ඇවිල්ලා නැහැ. ඔබ පත්තරේ බැලුවේ නැද්ද කියලා ජනාධිපති තුමාගෙන් අපි අහනවා. ඒ විතරක් නෙවෙයි 2015 කිසිදු ළමයෙක් බදවා ගන්නවා කියලා අයදුම්පත් ගන්න වැඩසටහනක් නැහැ. ඒවගේම අපගේ ප්‍රධාන අරමුණ වුණු චක්‍රලේඛය අහෝසි කරන බවට කිසිදු කතාවක් නැහැ. එතකොට ඔබ තුමා වැඩ කරන්නේ ඔහෝමද කියලා අහන්න කැමතියි.

අපි දන්නවා මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ලංකාවේ තුළ අලුත් බීරි අලින් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි රටේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. අනිත් එක්කෙනා තමයි මේ මුළු අධ්‍යාපනයම මහා මාර්ගයට ඇද දමන ලක‍ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා. අපි දන්නවා ඔවුන්ගේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ඔය ගොල්ලෝ මේ ලෑස්ති වෙන්නේ ලක‍ෂ 120ක් දීලා ඉගෙන ගන්න වෙන අධ්‍යාපන කඩවලට මේ ළමයි ටික යවන්න. ඔය ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඕක වුණාට, ඕගොල්ලො හිතුවට අපිට සාකච්ඡාවන් දුන්නම අපි බබාලා වගේ ඉදියි කියලා, එහෙම වෙන්නේ නැහැ. අද කෑගල්ලට ඇවිල්ලා බලන්න. අපි නැවත සටන පටන්ගත්තා.

අපි ගාව ඉන්ටවල් නැහැ. ඒ නිසා ඒ බීරි අලින්ට කියනවා ඔබලාගේ ක්‍රියාමාර්ගද ජයග්‍රහණය වෙන්නේ මේ දුප්පත් අම්මා තාත්තගේ කෙල්ලෝ කොල්ලොද ජයග්‍රහණය කරන්නේ කියලා. ඒ නිසා සාකච්ඡා ඉවරනම් කමක් නැහැ. අපි සාකච්ඡා කරනවා හැබැයි ඒ අපි පොකුරක් විදිහට. නැතිව තනි තනි පුද්ගලයෝ ලෙස නෙවෙයි. නැවතත් කියනවා අපි ලග ආයේ ඉන්ටවල් නැහැ. අපි ලග තියෙන්නේ එක ඉන්ටවල් එකයි. ඒක තමයි අපිට මේ වින කරපු චක්‍රලේඛය අහෝසි කිරීමෙන් පසුයි.  ඒ නිසා අපි කියනවා ජනවාරියට කලින් 2014 සියලු ළමයින් බඳවාගැනීම් කළ යුතුයි. ඒවගේම 2015 ළමයි බදවා ගැනීමට අයදුම්පත් කැදවිය යුතුයි. ඒවගේම මේ චක්‍රලේඛය අහෝසි කළ යුතුයි. ඒක අහෝසි කරන්නේ නැත්නම් කිරිඇල්ල ඇමතිතුමෝ ඔයා ඔයාගේ පාරේ යන්න. අපි ලැස්තියි අද කෑගල්ලෙන් පටන්ගත්තවගේ හෙට බදුල්ල, මාතර, ගාල්ල සියලු දිස්ත්‍රික්වල මේ සටන පටන්ගන්නවා. ඒත් මේක අහෝසි කරන්නේ නැත්නම් අපි ලෑස්තියි කොළඹට ඇවිල්ලා දෙකෙන් එකක් ඛෙරාගන්න යැයිද පැවසීය.

එහි දී බාහිර උපාධි ශිෂ්‍ය බලමණ්ඩලයේ සභාපති සාලිය ජයවර්ධන, බාහිර උපාධිය සුරැකීමේ සංවිධාන එකතුවේ සම කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය, බාහිර උපාධි ආචාර්ය සංසදයේ සරත් ඉරුගල් බණ්ඩාර, බාහිර උපාධි ආචාර්ය සංසදයේ කිත්සිරි ජන්ත, බාහිර උපාධි ශිෂ්‍ය බලමණ්ඩලයේ ලේකම් ශිහාරා ජීවනී, යන අයද අදහස් දැක්වූහ.

GAQ kegalla_1223_15GAQ kegalla_1223_20GAQ kegalla_1223_18GAQ kegalla_1223_5GAQ kegalla_1223_9GAQ kegalla_1223_21

t

o

p