ආණ්ඩුවට ගහන්න ඉතිරිවෙලා තියෙන්නේ මළබද්දයි මිනී පෙට්ටි බද්දයි විතරයි

November 18, 2016

මාර්ග අනතුරකදී තිබුණු අවම දඩය රු. 20/, රු. 2500 දක්වා වැඩිකර තිබෙනවා. උපරිම ගාස්තුව මොකක්ද කියලා දන්නේ නැහැ. මිනිස්සු හිතාමතා වාහන හප්ප ගන්නේ නැහැ. නොවැළක්විය හැකි හේතුවක් නිසා මාර්ග අනතුරු සිදු වෙනවා. එහෙත් මේ ආණ්ඩුව මාර්ග අනතුරු අවම කරන්න කියලා ඒකටත් දඩයක් ගහනවා. අනෙක් රටවල මාර්ග අනතුරු වැළැක්වීමට සී.සී.ටී.වී කැමරා සවි කර දැනුවත් කිරීම් කරනවා. පොලීසිය මාර්ගවල සිට අනතුරු වැළැක්වීමට දායක වෙනවා. නමුත් ලංකාවේ පොලීසිය ඉන්නේ කානු අස්සේ. ගස් අස්සේ. හැංගිලා ඉඳලා වැරැද්දක් වුණාම දඩ ගහනවා. මේ ආණ්ඩුව මිනිස්සු හැප්පෙනකං ඉඳලා, රෝහල් ගතකරනකං බලන් ඉඳලා බදු ගහනවා. දැන් මේ ආණ්ඩුවට ඉතිරිවෙලා තිබෙන්නේ මළ බද්ද සහ මිනී පෙට්ටියට බදු ගහන එක විතරයි.” යැයි ඊයේ (17) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මැතිවරණයට ආවේ නත්තල් සීයලා වගේ. මැතිවරණයට එනකොටම ඔවුන් තරුණ තරුණියන්ට විශාල සිහින ගොඩක් හදලා තිබුණා. තරුණ තරුණියන් බලාගෙන හිටියා, රනිල් වික‍්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන නත්තල් සීයලා තෑගි බෝග ගෙනත් දෙයි කියලා. කුඩා කාලයේ අපේ අම්මලා තාත්තලා නත්තල් සීයලා ගැන සිහින හැදුවට කවදාවත් නත්තල් සීයලා අපිට තෑගිබෝග අරන් ආවේ නැහැ. ඒ වෙනුවට අම්මලා කළේ ඇඳ ළඟ උදේ තෑග්ගක් තියන එකයි. ඒ වගේ මේ ආණ්ඩුවත් අයවැයෙන් තරුණ තරුණියන්ට කිරි ටොෆියක් දීලා රවට්ටන්න උත්සාහ කරලා තිබෙනවා.

මේ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැහැ කියලා ඔප්පු කරලා තිබෙනවා. අපේ රටේ ජනතාව කිරි ටොෆි දීලා රවට්ටන්න බැරි බව අපි අවධාරණය කරනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා මේ අයවැය සම්මත කරන්න එපා කියලා. මේ අගමැතිටත් ජනාධිපතිටත් දැන් මුල අමතක වෙලා. මහින්ද රාජපක්‍ෂත් හිටියේ රජෙක් වගේ. නමුත් ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව අපේ රටේ තරුණ තරුණියන් ෆේස්බුක් සමාජ ජාල හරහා විශාල විරෝධයක් එල්ල කළා. ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. එවැනි බලවේගයක් තමයි රනිල් වික‍්‍රමසිංහත් මෛත්‍රීපාල සිරිසේනත් අමතක කරලා තිබෙන්නේ. නමුත් සමාජවාදී තරුණ සංගමය හැටියට අපි අවධාරණය කරනවා මේ අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වුණත් අපේ රටේ බුද්ධිමත් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා ප‍්‍රගතිශීලී බලවේග එකතු කරගනිමින් මේ අයවැය මහ පාරේදී පරාජයට පත්කරන්න කටයුතු කරනවා කියලා

t

o

p