‘හර කණ්ඩායම’ ඉදිරිපත් කළ යෝජනාව ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

March 10, 2014

geneva-2014.jpg

geneva-2014.jpg

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මුරුසිය, මොන්ටිනීග්‍රෝව සහ මැසිඩෝනියාව යන ‘හර කණ්ඩායම’ විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බලහත්කාරයෙන් මැදිහත්වීමක් අපේක්ෂා කරන බවත් එය ශ‍්‍රී ලාංකිකයන්ගේ ස්වෛරීත්වය හා ශ‍්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩත්වයට බිඳදමන අතරම රාජ්‍ය ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට පටහැනි බවත් ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජිනීවා නිත්‍ය නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

“මෙම යෝජනාව දේශපාලනික අවශ්‍යතාවන් මූලික කරගත්තක් වන අතරම මානව හිමිකම් කවුන්සිලයේ පිළිගත් මූලධර්මයන් හා ක‍්‍රියාපටිපාටි පැහැදිලිව කඩ කිරීමක් බවත්” අවධාරණය කළ හෙතෙම ‘ශ‍්‍රී ලංකාව පිළිබඳ මෙම යෝජනාව ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් ගෙන එන්නක්. එය දීර්ඝ කාලීනව මෙම කවුන්සිලයෙහි සාමාජික සියලුම සංවර්ධනය වන රාජ්‍යයන්ට බලපෑමක් ගෙන එන්නක්’ බව තවදුරටත් පැවසීය.

තානාපති ආර්යසිංහ මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකළේ මාර්තු 07 වන දින ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ කෙටුම්පත සාකච්ඡා කිරීම සඳහා පැවති පළමු සංවාදයට සහභාගී වෙමිනි.

‘මෙම කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඇමරිකා එක්සත් ජනපදය ගෙන එන බව ඔවුන් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ මහ කොමසාරිස්වරියගේ වාර්තාව එළි දැක්වීමට බොහෝ කාලයකට පෙර එනම් මෙම වසරේ ජනවාරි මාසයේදී. එනයින්ම මෙම ක‍්‍රියාවලිය මෙන්ම මෙම සමස්ත ක‍්‍රියාවලියේ අරමුණ මානව හිමිකම් කවුන්සලය ලබාදුන් විධි නියෝගයන් ප‍්‍රකාරව ශ‍්‍රී ලංකාවේ බිම් මට්ටමින් සිදුව ඇත්තේ කුමක්ද? යන්න විෂයමූලික ලෙස ඇගැයීමක් ලෙස සිදු
කෙරුණු මහ කොමසාරිස්වරියගේ වාර්තාව මත පදනම් නොවෙනමින් හුදෙක් දේශපාලනික අවශ්‍යතාවන් ඉටුකර ගැනීමක් සඳහා සකස් කරන ලද්දක් බව පෙනීයයි. මහකොමසාරිස්වරියගේ වාර්තාව පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා දූත කණ්ඩායම මානව හිමිකම් කවුන්සිලයේදී පසුගියදා ප‍්‍රකාශයක් සිදුකළ අතර එමගින් මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශයන් ශ‍්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරමින් එම නිර්දේශ අගතිගාමී ලෙසින් ඉදිරිපත් කර ඇති බවත් එමගින් ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර ක‍්‍රියාවලියට අනවශ්‍යලෙස මැදිහත්වීමක් සිදුවන බවත් ඔවුහු පෙන්වාදුන්හ. එසේම එම සංවාදය සඳහා රැස්ව සිටින ආසියානු, අප‍්‍රිකානු හා ලතින් ඇමරිකානු රාජ්‍යයන් සේම ශ‍්‍රී ලංකාවද 1948 අධිරාජ්‍යවාදී
ග‍්‍රහණයෙන් මිදුණු රාජ්‍යයක් බවද ඔහු මතක් කර සිටියේය.

තවදුරටත් කරුණු සඳහන් කළ ඔහු මහකොමසාරිස්වරිය වාර්තාවේ සඳහන් කර ඇති අසත්‍ය කරුණු හා වැරදි අවබෝධයන් විශාල ප‍්‍රමාණයක් නිවැරදි කරන ලෙස සඳහන් කරමින් ශ‍්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කළ වාර්තාව A/HRC/25/G/9 යනුවෙන් ප‍්‍රසිද්ධ කර ඇති නමුත් එය මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙහි ඇමුණුමක් ලෙස එයට එක් කර නොමැති බවද පැවසීය.

‘මෙම යෝජනා කෙටුම්පත විමර්ශනයෙන් පසු අප දූත කණ්ඩායම පුදුමයට පත්වූයේ එය මෙම මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට ගෙනයන්නා වූ මූලධර්මයන්ට පවා එරෙහිවන හෙයිනි. මෙම කවුන්සිලයේ කටයුතු සිදුවිය යුතු නිසි ආකාරය මඟහරිමින් මෙම යෝජනා කෙටුම්පත ඉදිරිපත් කර ඇති පිරිස මෙමගින් වැරදි පූර්වාදර්ශයක් සපයනවා පමණක් නොව එය මෙම සමස්ත කවුන්සිලයටම බලපානා ආකාරයකින් සිදුකර ඇත. ශ‍්‍රී ලංකාව මෙම යෝජනා කෙටුම්පත ප‍්‍රතික්ෂේප කිරීමට තවත් හේතුවක් වන්නේද මෙය යැ’යි ඔහු සඳහන් කළේය.

පසුගිය යෝජනාවන් හිදී යොදාගත් ශීර්ෂය වෙනස් කිරීම, මෙම යෝජනාව මූලික කර ගතයුතු මහකොමසාරිස්වරියගේ A/HRC/25/23 යන වාර්තාවේ සඳහන් පරාමිතීන් පැහැදිලිව අභිබවායාම, එසේම මෙම කෙටුම්පත සඳහා සනාථ නො වූ අසත්‍ය කරුණු රැගත් චෝදනාවන් රැසක් ගෙන ඒම හා එමගින් මෙම යෝජනාවේ විධි නියෝගයන් පුළුල් කිරීම,එසේම මෙම යෝජනාවන් ගෙන එන පිරිස් මෙම යෝජනාවන්ගේ අභිමතාර්ථයන් නිරන්තරයෙන් වෙනස් කිරීම ආදිය මෙම යෝජනා කෙටුම්පත වෙනත් අරමුණකින් ඉදිරිපත් කළ යෝජනාවලියක් බව පැහැදිලිව පෙන්නුම් කරන බව’ කරුණු පැහැදිලි කරමින් තානාපති ආර්යසිංහ මහතා පැවසීය.

එසේම මෙම යෝජනා කෙටුම්පත ඉදිරිපත්කරන්නාවූ සියලු පාර්ශ්වයන් වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ වසර තිහක ගැටුමක් අවසානයේ සියලු ප‍්‍රජාවන් සම්බන්ධ කරගනිමින් සිදුකරන්නා වූ ප‍්‍රතිසංධාන ක‍්‍රියාවලියක් සිදුවන බව සිහියට නගාගන්නා ලෙසත් මෙවන් පිළිගත නොහැකි පිළිවෙත් අනුගමනය කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ සිදුවන්නා වූ ප‍්‍රතිසංධාන කි‍්‍රයාවලියේ ඇති සියුම් සමබරතාවයට අනිසි බලපෑමක් ඇති කරන බවත් ඔහු මෙම සංවාදයේදී පැහැදිලි කරන ලදී.

 

The Editor

Previous story Next story

Leave a comment

t

o

p