උඩවලව අලි ජාවාරමක් වනජිවිය අනාවරණය කර ගනියි

November 3, 2016

උඩවලව, හම්බෙගමුව ජනපදයේ කැළැබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය අලි ජාවාරමක් අනාවරණය කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත.

මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය.

මෙම අලි පැටවා කැලැවෙන් ගෙනවිත් තිබෙන කිසියම් පිරිසක් අලිපැටවා ගසක ගැටගසා තිබී ඇත. අලිපැටවා දුටු ගම්වාසීන් මේ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දුන් අතර වහාම ක්‍රියාත්මක වූ උඩවලව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ (02) දින සවස එම ස්ථානයට ගොස් අලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

මෙසේ අලි පැටවා ගෙනයාමට සැලසුම් කළ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද මේ ගැන පරීක්ෂණයක් සිදුකරයි.

රාත්‍රි කාලයේදී වාහනයක් ගෙනවිත් මෙම අලි පැටවා ගෙනයාම සඳහා මෙසේ ගසක බැඳ තිබෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැකකරති. අලි පැටවා පශු වෛද්‍යවරයෙකුට යොමුකිරීමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණට ලබාදෙන බව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පවසයි.

කඩිනමින් මෙම අලි පැටවා බේරාගැනීමට කටයුතු කිරීම ගැන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය වනජීවී නිලධාරීන්ට සිය ප්‍රශංසාව පුදකර සිටිති.

ඉහත ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

t

o

p