2017 ජාතික අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා මුදල් අමාත්‍යවරයාට භාර දෙයි…

October 26, 2016

2017 ජාතික අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී භාර දෙනු ලැබීය.

කෘෂිකර්මාන්ත, වැවිලි ක්ෂේත්‍රය, අධ්‍යාපනය, ග්‍රාමීය සංවර්ධනය, කුඩා හා මහා පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සහ ධීවර ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ යෝජනා ඊට ඇතුළත් ය. එම යෝජනා එකින් එක පුළුල්ව සාකච්ඡා කිරීම ද මෙහි දී සිදු විය. 2017 අයවැය ජනතාවාදී එකක් බවට පත් කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් මේ වන විටත් යෝජනා ලැබී ඇති බව ප්‍රකාශ කළ රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා ද රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට යොදා ගන්නා බව ද පැවැසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු එක් ව සිටියහ.

මීට අමතරව සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, එස්.බී. දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පී. හැරිසන්, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LNP Finance

t

o

p