ඉන්දු පකිස්ථාන් දේශසීමා ගැටුම හා සාර්ක් සමුළුව

October 21, 2016

වසර ගණනාවක සිට ඉන්දු පාකිස්ථාන දේශසීමා ගැටුම් පවති. ඒ නිසාම ඉන්දියාව හා පාකිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා වරින් වර බිද වැටුන අතර අවස්ථා ගණනාවකදී දෙරට අතර යුද ගැටුම් පවා සිදු විය.

මේ නිසා ඉන්දු පකිස්ථාන් සහයෝගීතාවය අදට ද පවතින්නේ හොඳ තත්ත්වයක නෙවේ. පසුගිය සතියේ වාර්තා වූ පරිදි දේශසීමා ගැටුම් යලි ආරම්භ වූ අතර ඉන්දියාව එයට විරෝධයක් වශයෙන් 19 වැනි සාර්ක් සමුළුව වර්ජනය කරන බවට දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ද විදේශ අමාත්‍යාංශය හරහා ප්‍රකාශ කර තිබුනි. එයින් කියවුනේ ගැටුම්කාරි තත්ත්වයක් මත 19 වැනි සාර්ක් සමුළුව පාකිස්ථානයේදී පැවැත්වීමට අවකාශයක් නොමැති බවය. එම ප්‍රකාශය තවත් තහවුරු කරමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පසුගිය දා නවසීලන්තයේ කල සංචාරය අතරතුර තවත් ප්‍රකාශයක් කළේය.

එනම් සමුළුව පැවැත්වීමේ දුෂ්කරතාවය මෙන්ම එයට ශ්‍රී ලංකාව සහභාගීවිම අවිනිශ්චිත බව සඳහන් කළේය. එයට අමතරව සාර්ක් සංවිධානය වෙනුවට වෙනත් කලාපීය සහයෝගීතා සමුළුවක් ඇති කිරිමේ අදහස ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදි පැහැදිලි වන කාරණය වන්නේ සාර්ක් සමුළුව තව දුරටත් පවත්වාගෙන යාමට උවමනාවක් එම සංවිධාන නියෝජනය කරන රටවලට නොමැති බවය. සමුළුව සම්බන්ධයෙන් බංගලිදේශය මෙන්ම භූතානය ද අදහස් ප්‍රකාශ කර තිබුනි. එහෙත් නේපාලය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින මේ පිළිබඳව කිසිදු මතයක් ප්‍රකාශ නොකර සිටිම ද විශේෂත්වයකි.

සාර්ක් සමුළුව ආරම්භ කළ නායකයන්ගේ අරමුණ වූයේ කළාපීය සහයෝගීතාවය මේ හරහා වර්ධනය කර ගනිමින් අනයෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කර ගැනීමය. එමෙන්ම එකිනෙකාට හවුල් වෙමින් ආර්ථික වශයෙන් ද රට රටවල් ශක්තිමත් විම හා කලාපය තුළ සමාජමය, සංස්කෘතිකමය සබඳතා ශක්තිමත් කර ගැනිම මුලික අරමුණක් විය.

ඒ සඳහා පසුගිය දශක 3 ක කාලයක් සාර්ක් සංවිධානය අඩු වැඩි වශයෙන් දායකත්වය දක්වා ඇති බව ද අප පිළිගත යුතුය. කෙසේවුවද මේ වන විටත් සාර්ක් සමුළුවේ අනාගතය පිළිබඳව මහත් වූ අවධානමක් ගොඩනැගී ඇති බව නම් පෙනේ.
ඉන්දියාවේ අවශ්‍යතාවය වන්නේ වෙනත් නව සංවිධානයක් ගොඩ නැගීමය. එසේ වුවහොත් සාර්ක් සංවිධානය සඳහා දෙන ප්‍රමුඛතාවය අහිමි වන අතරම සාර්ක් සමුළුවද බිඳ වැටෙනු ඇත. 19 වන සමුළුව සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙන්ම 1991 ශ්‍රී ලංකාව ද මෙවැනිම ගැටලූවකට මැදි විය. එදා ශ්‍රී ලංකාවේ ජනාධිපති රණසිංහ පේ‍ර්මදාස මහතා සංවිධානය කළ සාර්ක් සමුළුවට ඉන්දියාව සහභාගී නොවිම හේතුවෙන් සමුළුව කඩාකප්පල් විය.

එහෙත් සමුළුව නොපැවැත් වෙන බව දැන දැනද පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණ අප රටට සහයෝගය ප්‍රකාශ කළේය.

සමුළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය හදිසි වුනා වැඩි යැයි පෙනේ. එයට හේතුව නම් පාකිස්ථානය සමුළුව වර්ජනය කිරිමට ඉන්දියාව තීරණය කර තිබු හෙයින් පැහැදිලිවම සමුළුව නොපැවැත්විම සිදුවේ.

එවන් අවස්ථාවක කළාපීය සහයෝගීතාවය හා එකමුතුව වෙනුවෙන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටීම වැදගත්ය. මාලදිවයින, නේපාලය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව මෙහිදි සඳහන් කළ යුතුය.
පාකිස්ථානය අපට අසීරු අවස්ථාවල උදවු කළ රටකි. විශේෂයෙන්ම දශක තුනක යුද්ධය පැවැති අවස්ථාවේ ලෝකයේ බලවත් රටවල් අපට අවි ආයුධ නොදෙන විට ඒ සඳහා අපට උදව් කළේ පාකිස්ථානයයි. එය අප තේරුම්ගත යුතුය. ඒ නිසාම ඉන්දියාව අමනාප කර ගත යුතු ද නොවේ. අපට තිබුණේ ඔවුන්ගේ ගැටුම අප අතට නොගෙන සිටීමයි. එසේ නොවුනහොත් අනාගතයේදී අපගේ ස්වාධිනත්වයට හානි සිදු විය හැක.

තිස්ස අත්තනායක

t

o

p