විසර්ජන පනත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

October 19, 2016

රජයේ ලබන වසරේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම් පත මුදල් ඇමති රවි කරුණානායක මහතා විසින් හෙට (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල ලබන වසරේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබයි.
රජයේ වියදම් සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන සැපයීම සඳහා ද එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවිමට ඉඩ සැලසිම සඳහා විධිවිධාන සැලසීම සඳහා මෙම පනත් කෙටුම්පත රජය විසින් ඉදිරිපත් කරනු ඇත.
මෙම වියදම් සඳහා මුදල් සොයා ගන්නා ක්‍රමවේද ඇතුළත් අය වැය ලේඛනය ලබන නොවැම්බර් 10 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
අය වැය විවාදය නොවැම්බර් 11 දා සිට දෙසැම්බර් 10 දා දක්වා සෙනසුරාදා දිනයන්ද ඇතුළත්ව පෙරවරු 10.30 සිට සවස 6.30 දක්වා පැවැත්වේ. අය වැය දෙවන වර කියවිමේ ඡන්ද විමසිම නොවැම්බර් 19 දා ද, තුන්වන වර කියවිමේ ඡන්ද විමසිම දෙසැම්බර් 10 දා ද පැවැත්වේ.

t

o

p