සමාජ ශාලා ගැටුම ගැන පැමිණිලි නෑ

October 12, 2016

ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” සමාජ ශාලාවේ පසුගිය 08 වැනිදා අලුයම 2කට පමණ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේවන තෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් පොලීසියට විමර්ශණයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා දිනයේදී අලුයම 2.00ට පමණ මෙම ගැටුම සිදුව ඇතැයි වාර්තා වේ.

මේ අතර මෙම සිද්ධියට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා සම්බන්ධ බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබිණි. තවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා මෙම සිද්ධියට සම්බන්ධ බවටද වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

එම සිද්ධියෙන් රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු දොරවල් කැඩීයාමෙන් එහි දේපලවලටද හානි සිදු වී ඇති බවට ඡායාරූප අන්තර්ජාලයට නිකුත් කර තිබිණි. සිද්ධියෙන් රාත්‍රී සමාජ ශාලාවේ සේවකයෙකුට තුවාල වී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

කෙසේ වෙතත් එම ගැටුම සම්බන්ධයෙන් අදාල සමාජ ශාලාවේ කළමනාකාරිත්වය විසින් එම සිදුවීම අලලා අසත්‍ය පුවත් වාර්තා කරමින් පටු දේශපාලන වාසි නොගන්නයි ඉල්ලීමක් කරමින් මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර තිබේ.

එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධිය වූ දිනයේදී පිරිසක් පැමිණ සමාජ ශාලාවට ඇතුල් වීමට උත්සහ කළත් එම කාලය තුළ ඇතිවූ කාර්යබහුලතාවය මත ඔවුන්ව ඇතුල්කිරීමට ප්‍රමාද වූ නිසා එහිදී යම් සිදුවීමක් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුනද පසුව එම සිදුවීම් සියල්ල පසෙකලා ඔවුන් සියලුදෙනා සමාජ ශාලාව තුළට ඇතුල්වී යම් කාලයක් රැඳී සිට ඉන් පිටව ගිය බවත්ය.

ඉන්පසුව පැමිණි පිරිසක් විසින් මෙම පහර දීම සිදුකර ඇති අතර අදාල ගැටුමෙන් සමාජ ශාලාවේ සේවය කරන පුද්ගලයන් තිදෙනෙක් ඉන් තුවාල ලබා ඇති බවත් සහ සමාජ ශාලාවේ ඉදිරිපස විශාල ප්‍රමාණයේ වීදුරු දෙකක් සහ පැති වීදුරුවකට අදාල පහර දීමෙන් හානි සිදුවී තිබෙන බවත් එම සමාජ ශාලාවේ කළමනාකාරිත්වය සඳහන් කරයි.

මෙම සිදුවීමට අදාලව ප්‍රභූ පුතෙක් සහභාගි වී ඇති බව සඳහන් කරමින් විවිධ මාධ්‍ය සහ විවිධ පුද්ගලයන් විසින් පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සහ කරන බව පෙනී යන හෙයින් එම අසත්‍ය ප්‍රකාශ සිදු නොකරන ලෙසටද ඔවුන් ඉල්ලීමක් කොට ඇත.

t

o

p