ගුවන් හමුදා හෙලිකොප්ටර් මුදල් ගෙවිමකින් තොරව ගත්තු කට්ටිය මෙන්න

October 6, 2016

චන්ඬිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය මෙන්ම තවත් ඇමතිවරු නව දෙනෙකු 2015 ජනවාරි 10 දා සිට 2016 අපේ්‍රල් 30 දා දක්වා කාලය තුළදි රාජකාරි ගමන් වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් මුදල් ගෙවිමකින් තොරව ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදි ඊයේ (06) සභාගත කළ ලේඛනයක දැක්වේ.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසු ප්‍රශ්නයකට ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා සභාගත කළ පිළිතුරක මේ බව සඳහන්වේ.
සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා, ඉඩම් ඇමති ජෝන් අමරතුංග, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්ෂ, මුදල් ඇමති රවි කරුණානායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු, නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක යන ඇමතිවරුන් එලෙස හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබා ගෙන ඇති බව පිළිතුරෙහි දක්වා ඇත.
ඇමතිවරුන්ට අමතරව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ද එසේ හෙලිකොප්ටර් හා ගුවන් යානා ලබා ගෙන ඇති බවද සඳහන්ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස සිටියදී එලෙස ගුවන් ගමන් පහසුකම ලබා ගෙන තිබෙන බවද එහි සඳහන් ව තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, රූපවාහිනි සංස්ථාව, වරාය අධිකාරිය හා මුදල් අමාත්‍යාංශය යන ආයතනවලින්ද ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන් යානා රාජකාරි ගමන් සඳහා මුදල් ගෙවිමෙන් තොරව ලබා ගෙන ඇතයිද එහි වැඩිදුරටත් සඳහන්වේ.

t

o

p