ගෝඨාභය ඇතුළු අටකට ඇප

September 30, 2016

ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු 8 දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) ඇප නියම කළේය.

රජයට රුපියල් බිලියන 11.4ක  පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස ඇප නියම කර ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හත් දෙනෙකු අද(30)අධිකරණය හමුවේ පෙනී සිටි අතර සැකකරුවෙකු ලෙස නම සඳහන්වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේය.

ඒ අනුව මෙම සැකකරුවන් 8 දෙනාටම ඇප නියම වී තිබේ.

ඒ අනුව රු.ලක්ෂ 2 බැගින්වූ මුදල් ඇප හා රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් නියෝග කළ අතර සැකකරුවන්ට විදෙස් ගමන් තහනම් කෙරිණි.

කිසියම් සැකකරුවෙකුට විදේශගතවීමට අවශ්‍ය නම් අධිකරණයේ අවසර මත ඒ සඳහා හැකියාව පවතින බව දැනුම් දුන් විනිසුරුවරයා නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 03 වන දිනට කල් තැබුවේය.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් පෞද්ගලික සමාගමට නීති විරෝධී ලෙස අවසර ලබාදීමෙන් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පසුගිය අගොස්තු මස 30 වැනිදා මෙම නඩුව ගොනුකර තිබුණි.

ඒ අනුව අදාළ නඩුව පසුගිය පළමු වැනිදා විභාගයට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනාට නොතීසි නිකුත් කර තිබුණි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවක් දක්වමින් කියා සිටියේ මෙම නඩුවට අදාළව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනා ලබාදුන් අනුමැතියේ පිටපත් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

එවැනි තත්ත්වයක් තිබියදී මෙම නඩුව ඉදිරියට පත්වාගෙනයාමට හැකියාවක් නොමැති බැවින් මෙම නඩුව අත්හිටුවා සැකකරුවන්ට ‍නිකුත් කර ඇති සිතාසි නැවත කැඳවන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී රජයේ නීතිඥ ජානක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ පවරා ඇති නඩුවකට අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව හා නඩුව ඉදිරියට පත්වාගෙනයාමට හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් මස 03වන දිනට කල්තබමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු තිදෙනෙකුට විදේශගතවීම සඳහා පවත්නා අවශ්‍යතාව එදිනට ඉල්ලා සිටින ලෙසද දැනුම් දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p