2017 අයවැයට CTB යෝජනා මෙන්න

September 26, 2016

රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර, ශ‍්‍රී ලංගම සේවක අයිතීන් සුරක්ෂිත කිරිමට 2017 අය වැය ලේඛනය තුළින් සිදු කළ යුතු බවට යෝජනා කිහිපයක් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය රජයට ඉදිරිපත් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යැවූ ලිපියක එම යෝජනා දැක්වෙන අතර ඒවා වැඩිදුරටත් පහත පරිදිය.

මුදල් අමාත්‍යාංශයේ ගරු ලේකම්,
ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මැතිතුමා,
මුදල් අමාත්‍යාංශය,
කොළඹ 01.

ගරු ලේකම්තුමනි,

රාජ්‍ය ප‍්‍රවාහන සේවය ශක්තිමත් කර, ශ‍්‍රී ලංගම සේවක අයිතීන් සුරක්ෂිත කිරිමට 2017 අය වැය ලේඛනය තුළින් සිදු කළ යුතු බවට අප සංගමය ඉදිරිපත් කරනු ලබන යෝජනා – CTB – 2016.09.26

ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් කරනු ලබන ආයතනයක් ලෙස සැබෑ ලෙසම පිළිගෙන අනිකුත් සේවාවන් සිදුකරනු ලබන අධ්‍යාපන, සෞඛ්‍ය, තැපැල්, දුම්රිය වැනි ආයතනවලට ලබාදෙන සියලූම අයිතිවාසිකම්, වරප‍්‍රසාද ශ‍්‍රී ලංගමයට සහ එහි සේවකයන්ට ලබාදීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

1977 සිට මේ දක්වා ශ‍්‍රී ලංගමය තුළ ආණ්ඩු මාරුවෙන වාරයක් වාරයක් පාසා අවධිමත් පත්වීම්, අවධිමත් උසස්වීම්, අවධිමත් ස්ථානමාරුවීම්, අවධිමත් මූල්‍ය කටයුතු අනිවාර්යයෙන් සිදුවේ.  මෙතෙක් පැවති සෑම ආණ්ඩුවක් විසින් ම මෙම ක‍්‍රියාවලිය දැනුවත්වම සිදුකර ඇත.  මේ නිසා ශ‍්‍රී ලංගමය තුළ පරිපාලනය, සේවක සමගිය, ආදායම් වර්ධනය දිනෙන් දින අවපාත වේ.  ඒ අනුව ශ‍්‍රී ලංගමය ක‍්‍රමානුකූලව විනාශය කරා ඇදගෙන යනු ඇත.  මෙම ක‍්‍රියාවලිය නතර කිරීමට ශ‍්‍රී ලංගමයට විධිමත් ජාතික ප‍්‍රතිපත්තියක් ස්ථාපිත කිරිමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන ලෙස.

ජනතාවට විධිමත් ප‍්‍රවාහන සේවයක් ලබාදීමට ශ‍්‍රී ලංගමයට අවශ්‍ය නව බස්රථ ලබාදීමට ප‍්‍රතිපාදන වෙන් කරන ලෙස

ශ‍්‍රී ලංගම සෑම ඩිපෝවක් ම ස්ථාපිත කර ඇත්තේ ප‍්‍රධාන පාරට ආසන්නව ජනාකීර්ණ ස්ථානවල ය.  ප‍්‍රථමයෙන් සෑම දිස්ත‍්‍රික්කයකින් ම එක් ඩිපෝවක් තෝරාගෙන එම ඩිපෝවේ ප‍්‍රධාන ඉන්ධනහලක් ස්ථාපිත කර ශ‍්‍රී ලංගම බස් රථවලට අමතරව බාහිර වාහනවලට ඉන්ධන අලෙවිකර විශාල ආදායමක් ලබාගැනීම සඳහා ක‍්‍රියා කිරීමට ඉන්ධනහලවල් ස්ථාපිත කිරීමට මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස,

එක් දිස්ත‍්‍රික්කයකින් එක ඩිපෝවක් තෝරාගෙන එම ඩිපෝව තුළ අමතර කොටස් ගබඩා කර ශ‍්‍රී ලංගම බස් රථවලට අමතරව බාහිර වාහනවලට ද අමතර කොටස් අලෙවි කිරිමෙන් විශාල ආදායමක් උපයා ගත හැකිය. එ් අනුව අමතර කොටස් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

සෑම දිස්ත‍්‍රික්කයකින් ම එක් ඩිපෝවක් තෝරාගෙන එහි රියදුරු පුහුණු කිරිමේ පාසලක් ස්ථාපිත කර ශ‍්‍රී ලංගම සේවකයන්ට රියදුරු පුහුණුව ලබාදීමට අමතරව බාහිර පුද්ගලයන්හට රියදුරු පුහුණුව ලබාදී විශාල ආදායමක් උපයා ගැනීම සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

සියලූම වාහනවලට ආදායම් බලපත‍්‍ර ලබාගැනීමට දුම් පරීක්ෂා කර යෝග්‍යතා සහතික නිකුත් කිරීමේ අයිතිය ශ‍්‍රී ලංගමයට පමණක් ලබාදී ඒ තුළින් විශාල මුදලක් උපයා ගැනීමට හැකි අතර එම දුම්පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

ශ‍්‍රී ලංගමයට අවශ්‍ය සියලූම මුද්‍රණ කටයුතු කිරීම සඳහා ශ‍්‍රී ලංගමයේ අනන්‍යතාවය ඇතිව මුද්‍රණාලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

ශ‍්‍රී ලංගමය සතු අම්පාර ටයර් කර්මාන්ත ශාලාව නවීකරණය කර, ශ‍්‍රී ලංගමයට අවශ්‍ය ටයර් සහ බාහිර පුද්ගලයන්ට අවශ්‍ය ටයර් නිෂ්පාදනය කිරීමට ද, එවැනි ටයර් කර්මාන්තශාලා අවම වශයෙන් තවත් 03ක් වත් ශ‍්‍රී ලංගම භූමිවල ස්ථාපිත කිරීමට ද අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

නාරාහේන්පිට නගරයේ ස්ථාපිත කර ඇති ශ‍්‍රී ලංගම ශාලිකා ශාලාව සහ ශ‍්‍රී ලංගමය සතු සියලූ නිවාඩු නිකේතනයන් විධිමත් ලෙස නවීකරණය කර,  දැනට ලබාදෙන සහනදායක ක‍්‍රමවේදයට ශ‍්‍රී ලංගම සේවකයින්ට පමණක් ලබාදී  බාහිර ආයතනවලට සහ පුද්ගලයන්ට වැඩි මුදලට ඒවා ලබාදීම තුළින් විශාල ආදායමක්     උපයා ගැනීමට හැකිවන අතර එම ස්ථාන නවීකරණය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

ශ‍්‍රී ලංගම සේවකයෙකුට හෝ ඔහුගේ පවුලේ අයෙකුට හෝ බරපතළ ශෛල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් එම සේවකයා ආර්ථික දුෂ්කරතාවයන් නිසා ඉතා අසරණ තත්ත්වයකට පත්වේ. එම අසරණ තත්ත්වයට වැටීමෙන් සේවකයා මුදවා ගැනීමට සුබසාධක අරමුදලක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරන ලෙස.

ශ‍්‍රී ලංගම දුර්වලකර එය විනාශ කිරීමට ඔබ ආයතනය මැදිහත්වී යෝජනා කර ඇති ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රෝඩාකාරී වැඩපිළිවෙල නතරකර ශ‍්‍රී ලංගමය ශක්තිමත් කිරීමට ඉහත සඳහන් යෝජනා 2017 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස අප සංගමය ඔබතුමාගෙන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු. එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන 2017 අයවැය ලේඛනය තුළින් වෙන්කර දීමට මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින අතර එම මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම අනිවාර්යයෙන් අනාගත ආයෝජනයක් වන බව ඔබතුමාට වැඩිදුරටත් අප සංගමය වගකීමෙන් යුතුව දැනුවත්  කරන්නෙමු.

සේපාල ලියනගේ
ප‍්‍රධාන ලේකම්

Sammy

Previous story Next story

Leave a comment

t

o

p