ආසියාවේ බිහි වූ විශිෂ්ටතම නායකයා

September 23, 2016

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන්ගේ 110 වන ජන්ම දින සැමරුම පසුගිය 17 වනදාට යෙදි තිබුණි. මෑත කාලීන දේශපාලනයේ කැපී පෙනෙන විශිෂ්ට චරිතයක් වූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලෝක දේශපාලනයේ ද නමක් දිනා ගත් ජනතා නායකයෙකි.
1948 වසරේ මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මැතිතුමා අප රටට නිදහස ලබා ගෙන බිහි වූ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වන විට එම කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා වූයේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාය. එතුමා නිදහසෙන් පසු විවිධ අවස්ථාවල එ.ජා.ප ආණ්ඩු යටතේ විවිධ වගකීම් දරමින් 1977 ජනතා ජයග්‍රහණයත් සමඟ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
ඉන්පසු 1978 දී හදුන්වා දුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා වූ අතර 1982 දී නැවත වතාවක් මහජන ඡන්දයෙන් ජනාධිපතිවරයා බවට පත්ව 1988 අවසානයේ දී සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේ ය.
ජේ.ආර්. ජයවර්ධන දේශපාලන න්‍යාය පත්‍රය බොහෝම පැහැදිලිය. එතුමාට තිබූ දිගුකාලීන දැක්ම තම බලය තහවුරු වීමෙන් පසු ක්‍රියාත්මක කළේය. විධායක ජනාධිපති ධූරය ගැන එතුමා කතා කළේ 1960 ගණන්වලය. රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය වේගවත් කිරිමට නම් විධායක බලතල සහිත ජනාධිපතිවරයෙක් බිහි විය යුතු බව එතුමාගේ දර්ශනය විය. එයට හේතුව දේශාපලන ස්ථාවරත්වය රටකට වැදගත් බැවිනි.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයේ කැපී පෙනෙන විශිෂ්ටතම චරිතයයි. එයට හේතුව නම් ආසියාවේ ප්‍රථම වතාවට නිදහස් ආර්ථිකයක් බිහි කිරිමයි. 1970 සිට 1977 දක්වා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආවෘත ආර්ථිකය අපට මහත් හිරිහැරයක් විය.
පාරිභෝගි භාණ්ඩ හිඟවිම නිසා ජනතාව තුල දැඩි අප්‍රසාදයක් ගොඩනැගෙමින් තිබූ අවධියක තම ආර්ථික දර්ශනය වශයෙන් ශ්‍රී ලංකාව තුල විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් හදුන්වා දෙනු ලැබීය. චීනය, ඉන්දියාව වැනි රටවල් අපට පසුව මෙම තත්ත්වය අවතීර්ණය වූ රටවල්ය.
ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කෘෂිකාර්මික හා කාර්මික විප්ලවය ද අමතක කල නොහැක. වසර 30 න් අවසන් කළ යුතුව තිබු මහවැලි ව්‍යාපාරය වසර 06 න් නිම කිරිමට පියවර ගැනීම තුළින් රටට අවැසි විදුලි බලය මෙගාවොට් 1400 ක් ජල විදුලියෙන් නිෂ්පාදනය කිරිමට හැකියාව ලැබුනි.
මේ නිසා රටට අවශ්‍ය බල ශක්තිය නිෂ්පාදනය වූ අතර කර්මාන්ත ව්‍යාපෘතියට මෙය කඩිනම් පිළියමක් විය. නිදහස් වෙළෙද කලාප සංකල්පය හරහා කටුනායක නිදහස් වෙළෙද කලාපය බිහි වූ අතර විනිමය ආදායම ඉහල යාමටත් රැකියා අවස්ථා උදාකරවීමටත් මෙය පිටුවහලක් විය.
එතුමාගේ ආණ්ඩුවේම මහජන සුබවාදි වැඩපිළිවෙලවල් විශාල ප්‍රමාණයක් මේ හරහා ක්‍රියාත්මක විය. ශ්‍රී ජයවර්ධනපුර රෝහල වැනි නවීන රෝහල් පද්ධති බිහි කිරිම පමණක් නොව නොමිලේ පොත් ලබාදීමේ වැඩපිළිවෙල ද එතුමාගේ සංකල්පයකි.
රාජ්‍ය පාලනයේ විශිෂ්ටයෙකු වූ ජේ.ආර්. ජාත්‍යන්තර සබඳතා ද ඉහලින් ඇති කර ගත් අයෙකි. එතුමාගේ ආණ්ඩුවට අවශ්‍ය ආධාර, උපකාර ලබා ගැනිමට එතුමාගේ නායකත්වය ඉතා සුවිශේෂි විය. දේශපාලනමය වශයෙන් එතුමා රටට අවැසි නායකයන් බිහි කිරිම වෙනුවෙන් ද තරුණ පෙළක් පෙළ ගැස් වූ නායකයෙකි. අවාසනාවට මෙන් එතුමා බලා සිටියදීම එම නායකයන් එකිනෙකා විනාශ වී ගියේය.
ජේ.ආර්. ජයවර්ධන චරිතයේ විශිෂ්ටත්වය වූයේ මහජන මුදල් විනාශ නොකිරිම ය. පුහු ආටෝප හෝ සැරසිලි නොවීය. තම ආහාර වේල පවා සිය නිවසින් ගත් ජේ.ආර්. තම පාරම්පරික උරුමයන් හා දේපල රජයට පවරා දෙමින් රටට විශාල ආදර්ශයක් ලබා දුන් නායකයෙකි.
වෝඩ් පෙදෙස පිහිටි ඉතා විශාල වටිනාකමකින් යුත් නිවසත් නගර ශාලාව අසල ඇති ජේ.ආර් ජයවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලත් මතු පරපුර වෙනුවෙන් තිළිණ කළේය. මෙවැනි නායකයන් අපට නැවත කවදා හමුවේදැයි සිතියවත් නොහැක.
තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p