ළමුන් 06ක් සිටින මාතලේ අපූරු පාසල

September 18, 2016

මාතලේ, නාඋල දෙමදඔය ප්‍රාථමික විදුහලෙහි මේ වනවිට ගුරුවරුන් 04දෙනෙක් ඉගැනුම්වල නිරතවී සිටින අතර අධ්‍යාපනය ලබන මුළු සිසුන් ගණන 06කි.

මෙම විදුහල අයත් වන්නේ ගලේවෙල අධ්‍යාපන කලාපයටයි.

දෙමදඔය විදුහලේ ගුරුවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ විශාල ජන ඝණත්වයක් පිහිටි ප්‍රදේශයක මෙම පාසල පිහිටා තිබුණද දෙමාපියන් පහසුව තකා තම දරුවන් නාඋල අධ්‍යාපන කලාපයට අයත් වෙනත් පාසල්වලට යැවීම සිදුකරන බවයි.

‘ළගම පාසල හොදම පාසල’ නමින් නව වැඩසටහන් ක්‍රියාත්මක වුවද ලබන වසර සඳහා පාසලට  ඇතුළත් කර ගැනීමට මෙතෙක් කිසිදු දරුවෙකුගේ ඉල්ලුම් පත්‍ර ලැබී නොමැති බවද ඔවුන් කියාසිටී.

මෙම ප්‍රාථමික විදුහලේ පළමු වසරේ එක ළමයෙක් ද තුන වසරේ එක ළමයෙක් ද පහ වසරේ ළමුන් 04දෙනෙක්ද  සිටින අතර දෙක වසර හා හතර වසර සඳහා කිසිදු ළමයෙකු ඇතුළත් වී නොමැත.

දෙමදඔය විදුහලේ අධ්‍යාපනය ලබන දරුවන් ප්‍රකාශ කළේ තමන්ට පන්තියේ තනිව ඉගෙන ගැනීම අපහසු බවත් සෙසු පාසල් දකින විට දුකක් ඇතිවන බවත්ය.

පාසලේ විදුහල්පතිනි කල්‍යාණි මැණිකේ දිසානායක මහත්මිය කියාසිටියේ ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් කිහිපදෙනා පමණක් මෙම පාසලට එවන බවත් තමන් ඇතුළු ගුරුවරුන් පිරිස එම දරුවන්ට උපරිමයෙන් උගන්වන බවත්ය.

මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන් සමත්වනු ඇති බවට විශ්වාසයක් තබාගෙන සිටින බව ද විදුහල්පතිනිය පැවසුවාය.

ප්‍රදේශවාසි ජනතාව කියාසිටින්නේ මෙම පාසල ගලේවෙල කලාපයෙන් ඉවත් කොට නාඋල කලාපයට අනුයුක්ත කළහොත් දරුවන් ඇතුලත් කල හැකි බවයි.

එසේ නැතිනම් එම කලාපයේ දරුවන් නාඋල කලාපයේ පාසල් වලට ඇතුලත් කරගැනීම නවතා දැමිය යුතු බවයි.

ගුරුවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ දිනවල ලබන වසරට දරුවන් ඇතුලත් කර ගන්නා බැවින් මේ පිළිබඳව කඩිනම් අවධානයක් යොමු නොකළහොත් තවත් වසර කිහිපයක් ගතවෙද්දී පාසල වැසියාමේ අවධානමක් පවතින බවයි.

ඡායාරූප පහතින්.

 

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස

Sammy

Previous story Next story

Leave a comment

t

o

p