ඩයලොග් සමාගමේ කොටස් විකිණීමට සැරසෙයි

September 18, 2016

ශ්‍රීලංකාවේ ඩයලොග් ආසියාටා සමාගමේ සියයට 83.3 ක කොටස් හිමි මැලේසියාවේ ආසියාටා සමූහය ශ්‍රී ලංකාවේ සහ වෙනත් ආසියානු රටවල් කිහිපයක තමන් සතු හිමිකම්වලින් කොටසක් විකිණීමට සූදානම් වන බව වාර්තාවේ.

මේ හේතුවෙන් ඉන්දුනීසියානු කොටස් වෙළෙඳපොළේ XL ආසියාටා සමාගමේ කොටස් මිළ ගණන් සීඝ්‍රයෙන් පහත ගොස් ඇත.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කළේ අඟහරුවාදා දිනයේදී එම කොටසක මිල සියයට 4.9 කින් පහළ වැටුණ බවය. ඒ අනුව එම සමාගමේ කොටස් මිල 2015 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා කළ අවම මිල මෙය වේ.

ශ්‍රී ලංකාවේ ඩයලොග් ආසියාටා සමාගමට අමතරව ආසියාටා සමූහයට කාම්බෝජයේ ස්මාර්ට් ආසියාටා සමාගමේ සියයට 95.3 ක් සහ ඉන්දුනීසියාවේ XL ආසියාටා හි සියයට 66.4 ක් අයත් ය. පාකිස්ථානයේ සහ බංගලාදේශයේද ආසියාටා සමූහය කොටස්කරුවන් වන සමාගම් ඇති අතර සිංගප්පූරුවේ M1 සමාගමේ කොටස් ද එයට අයත් වේ.

ආසියාටා සමාගමේ ණය බර 2014 සිට 2016 ජූනි මාසය වනවිට සියයට 55 කින් ඉහළ ගොස් ඇති අතර එය වර්තමානයේ අමෙරිකානු ඩොලර් බිලියන 5.2 ක් බව එම වෙබ් අඩවිය සඳහන් කරයි. එම සමූහය සිය කොටස් විකිණීමට සැලසුම් කර ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙස බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ඩයලොග් ආසියාටා සමාගමේ සහ කාම්බෝජයේ ස්මාර්ට් ආසියාටා සමාගමේ තමන්ට අයත් කොටස්වලින් සියයට 30 ක් බැගින් ද ඉන්දුනීසියාවේ XL ආසියාටා හි තමන්ට අයත් කොටස්වලින් සියයට 11ක් ද මෙලෙස විකිණීමට ආසියාටා සමූහය සැරසෙන බව වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p