දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට මරණ දඬුවම

September 8, 2016

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  ‍චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා ප්‍රියන්ත ජානක බණ්ඩාර යන පස්දෙනාටය.

නඩුවේ තීන්දුව දැන ගැනීමට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු ඇයගේ පවුලේ සාමාජිකයින් හා ආධාරකරුවන් විශාල පිරිසක්ද, දුමින්ද සිල්වා මහතාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි අයුරු දැකගත හැකිවිය.

මෙම නඩු තීන්දුව  2/1ක් ලෙස  බෙදුණු නඩු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකුගේ තීන්දුව වූයේ මෙම වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදීමය.

මෙලෙස මරණ දඬුවම නියම වූ පස්දෙනාගෙන් ප්‍රියන්ත ජානක බණ්ඩාර තවමත් අතුරුදන් වී ඇති බව අධිකරණයට දැනුම්දී තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න මහතාට අනූව රජයේ සාක්ෂි පරස්පරතාවයන් පවත්නා හේතුවෙන් මෙම‍ සියළුදෙනාම නිදොස් කොට නිදහස් බව ප්‍රකාශයට පත් කර ඇත.

එසේ වුවද සෙසු විනිසුරුවරුන් දෙදෙනාට අනූව සාධාරණ සැකයකින් තොරව වරද තහවුරුව ඇති බැවින් ඉහත පස්දෙනාටම මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ අතර සෙසු පිරිස නිදහස් කිරීමට නියෝග කර තිබේ.

පළාත් පාලන මැතිවරණය පැවති 2011 ඔක්තෝබර් මස 8 වනදා මුල්ලේරියාව, වල්පොළදී සිදු වූ වෙඩි හුවමාරුවකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙක් මියගියහ.

සිද්ධිය වූ ස්ථානයේ තිබුණු ගිනිඅවි පසුව පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධියේදී තුවාල ලැබූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහල් ගත කෙරිණි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ, 2011 වසරේ ඔක්තෝබර් මස 12 වනදා ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් 13 දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරුණු භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විභාගය අවසන් කෙරුණේ, පසුගිය ජූලි මස 14 දාය.

ඒ අනූව එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට ශිරාන් ගුණරත්න, පද්මිනි එන්. රණවක සහ එන්.සී.බී.සී. මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තීරණය කරන ලදී.

මේ අතර භාරත ලක්‍ෂමන්‍ ප්‍රේමචන්ද්‍රන් මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනයට අදාළව හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් 13ට එරෙහි නඩුවේ තීන්දුව අද ප‍්‍රකාශයට පත්කිරීම නිමිත්තෙන් කොළඹ මහාධිකරණයට හා ඒ අවට කලාපයට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබිණ.

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් ඇතුළු ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් යොදවා කොළඹ මහාධිකරණය හා ඒ අවට ප‍්‍රදේශයට විශේෂ ආරක්‍ෂාවක් සැළසීමට උසස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.

ආරක්‍ෂක පියවරක් වශයෙන් අධිකරණවලට අවශ්‍යම මෙන්ම නඩු කටයුතුවලට සම්බන්ධිත පුද්ගලයින් පමණක් කොළඹ මහාධිකරණය පරිශ‍්‍රයට ඇතුළු කර ගැනීමට බලධාරීන්  විසින් පියවරගෙන ඇතැයිද වාර්තා විය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනයට අදාළ පුවත සැකෙවින් පහත පරිදිය.

මෙම වෙඩි තැබීම සිදුවූයේ 2011 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා පැවැති බස්නාහිර පළාත් සභා ඡන්ද දිනයේදීය.

එදින භාරත ලක්‍ෂමන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් පස්‌වරු 3.00ට පමණ මුල්ලේරියාව සිරිමාවෝ බණ්‌ඩාරනායක පුස්‌තකාලය ඉදිරිපිට පිහිටි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල ආධාරකරුවකුගේ නිවස වෙත පැමිණ තිබේ.

භාරත ලක්‍ෂමන් ඇතුළු ආධාරකරුවන් එම නිවසට පැමිණ එහි ඉදිරිපිට රැඳී සිට ඇත.

එම අවස්ථාවේ අංගොඩ හන්දිය පැත්තේ සිට දුමින්ද සිල්වා ඇතුළු ආධාරකරුවන් පිරිසක් භාරත ලක්‍ෂමන් ඇතුළු පිරිස සිටි දෙසට පැමිණ තිබේ.

මෙහිදී දෙපාර්ශවය අතර මුහුණට මුහුණලා ඇති වූ උණුසුම් වචන හුවමාරුවත් සමග වෙඩි තැබීමක්‌ද සිදුව ඇත.

ඒ සමගම දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති බව වාර්තා විය.

වෙඩි හුවමාරුවේදී  තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටද ඇතුළත් කෙරිණ.

විදෙස් ගතව ප්‍රතිකාර ලැබ කලක් අවෑමෙන් දිවයිනට පැමිණි පසු දුමින්ද සිල්වා මෙම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්ව සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p