ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය

September 4, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය අද(04) කුරුණෑගල, මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

අද පස්වරුවේ පෙළපාළි කිහිපයකින් පක්ෂ සාමාජිකයින් මාලිගාපිටියට ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය.

අනතුරුව පස්වරු 3.00ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවය ආරම්භ වෙයි.

මෙවර සැමරුම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවන බව දැනුම් දී තිබේ.

හිටපු ජනාධිපති සහ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ද මලයාසියානු සංචාරයක නිරතව සිටින බැවින් සැමරුම් උත්සවය සඳහා සහභාගී නොවන බවට දැනුම් දී තිබුණි.

කෙසේවුවද පක්ෂ සංවත්සරයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.

එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරමින් සඝ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කරගනිමින් දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1951 වසරේ සැප්තැම්බර් මස 02 වනදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබීය.

අනතුරුව 1956 පැවැති මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ලෙස මහ මැතිවරණයට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන් විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය.

පක්ෂයේ නිර්මාතෘවරයා වන බණ්ඩාරනායක මහතා 1956 සැප්තැම්බර් මස 25 වනදා ඝාතනයට ලක්වීමෙන් පසු 1960 වර්ෂයේ මැයි මස 07 වනදා පක්ෂ සභාපතීත්වය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට හිමිවුණි.

1994  දක්වාම සිරිමාවෝ  බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙනු ලැබීය.

1994 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි වු අතර  2005 වසරේදී එම නායකත්වය  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකයා ලෙස කටයුතු කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p