එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්

August 30, 2016

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගත්තේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා සාක්ෂි ඇති බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය.

එම පැහැරගැනීම සිදුකළේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මෙන් වෙස්වළාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු විසින් බවට පැහැදිලි සාක්ෂි ඇති බවට ඒ මහතා සඳහන් කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින්

දෙදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කීය.

යුද හමුදාපතිවරයා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් වෙති. අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා, සිසිර ආබෲ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවන ලදී.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සඳහන් කළේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින බවයි. එමඟින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවන බවට හෙතෙම ප්‍රකාශ කළේය. ඊට පිළිතුරු දෙමින්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ, මොරලි ශවින්ද්‍රන් සහ නාදන් නමැති එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ලෙස හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනකු වෙස්වළාගෙන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවය.

හබරණ ප්‍රදේශයේ ඇති ප්‍රගීත් එක්නැලිගොඩ මහතාට අයත් ඉඩමකදී මොවුන් දෙදෙනා සහ එක්නැලිගොඩ මහතා මුණගැසී ඇති අතර එහිදී පැවැති රජය එක්නැලිගොඩ මහතා විසින් දැඩිලෙස විවේචනය කළ අතර, එම ප්‍රකාශ මොවුන් විසින් පටිගත කර ඇති බවට සාක්ෂි තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. පසුව කොළඹදී එක්නැලිගොඩ මහතා හමුවූ මොවුන් දෙදෙනා තවත් හමුදා නිලධාරීන් කිහිපදෙනකු සමඟ වෑන් රථයක නැගී ගිරිතලේ හමුදා කඳවුරට පැමිණ ඇති බවත් එය එක්නැලිගොඩ මහතා ජීවතුන් අතර සිටි අවසන් අවස්ථාව බවත් අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරල්වරයා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම වැඩිදුර සලකා බැලීම ඔක්තෝබර් මස 03 වැනිදාට කල් තබන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p