ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම සම්පුර්ණ කරන්න පුලුවන්

August 20, 2016

2016 වසර අවසන් වන විට ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම 100% සම්පූර්ණ කළ හැකි බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී. බන්දුසේන මහතා පැවසීය.

ඒ සඳහා රුපියල් මිලියන 250ක පමණ මුදල් වැය කරමින් නව යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇත. මෙම නව යන්ත්‍රය සවි කිරීම සඳහා වූ ගොඩනැගිලි ඉදිකිරීම වැනි සෙසු කටයුතු ඇතුළුව මෙම සංවර්ධන කටයුතු සඳහා රජය රුපියල් මිලියන 700කට අධික මුදලක් වැය කොට තිබේ. මේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු 75%ක් පමණ අවසන් කොට ඇත.

දැනට ත්‍රිපෝෂ සමාගම සතුව පවතින පැරණි යන්ත්‍ර උපයෝගී කරගනිමින් මාසිකව නිෂ්පාදනය කළ හැකි වූයේ ග්‍රෑම් 750කින් යුතු පැකට් ලක්ෂ 17ක් පමණ වන බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ හරහා සපුරාලිය හැකි වූයේ 80%ක ඉල්ලුමක් බවත් කීය.

මෙම නව යන්ත්‍රය සමගින් පැරණි නිෂ්පාදන ප්‍රතිශතය 15% – 20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි ද ඒ අනුව පැකට් ලක්ෂ 35ක පමණ නිෂ්පාදනයක් බලාපොරොත්තු විය හැකි බවත් මෙට්‍රික් ටොන් 750ක අතිරික්තයක් ඇති වන බවත් පෙන්වා දුනි. මේ වන විට එම අතිරික්ත ත්‍රිපෝෂ නිෂ්පාදනය ත්‍රිපෝෂ, බිස්කට්, ක්‍රැකර් ආකාරයෙන් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා අත්හදාබැලීමේ කටයුතු සිදුකරමින් පවතින් බවත් සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේ දී ලංකා ත්‍රිපෝෂ සමාගම භාණ්ඩාගාරයේ මුදල් මත නොව සමාගමේ ම මුදල්වලින් තම වියදම් පියවාගැනීමට බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p