ආයුර්වේද නිෂ්පාදනවල මද්‍යසාර සීමාව ඉක්මවා ගිහින්

August 8, 2016

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කරන ප්‍රමාණයට වඩා මද්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත කර ඇති සියයට 4.5 ක් වන මද්‍යසාර ප්‍රමාණය ඉක්මවා  ආයුර්වේද නිෂ්පාදන වෙළෙඳපොළේ පවතින බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව මේ පිළිබදව සොයා බැලීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා  විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.

මෙහිදී ආයුර්වේද නිෂ්පාදනවල අනුමත ප්‍රමාණයට වඩා මද්‍යසාර අඩංගු බවට නාවින්න පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත කරුණූ ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම ආයුර්වේද  නිෂ්පාදනවල අඩංගු මද්‍යසාර ප්‍රමාණය සියයට 10ට වැඩි නිෂ්පාදන ද මේ වන විට හදුනාගෙන ඇති බවට ද මෙහිදී කරුණූ අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ කමිටුවට උපදෙස් ලබාදී ඇත්තේ දිවයිනම ආවරණයවන පරිදි මෙම වැටලීම් සිදු කරන ලෙසයි.

මෙම වැටලීම් සඳහා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහයෝගය ඇතිව ප්‍රජා ආයුර්වේද වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු  සහභාගී කරගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

මේ අතර මෙහිදී අදහස් දක්වමින් ආයුර්වේද කොමසාරිස්වරයා පවසා ඇත්තේ මද්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන පිළිබඳව සිදු කරන ලද පරීක්ෂණ වාර්තාව ඉතා ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාරදීමට කටයුතු කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p