සැප සම්පත් එපා කියා හිස මුඩුගෑ යුවතිය

August 3, 2016

බුදු රජාණන්වහන්සේ , ගිහි ගෙය අතැර මහණ වූවනට හිස මුඩු කරන ලෙස දෙසා වදාළේ කාරණා කිහිපයක් නිසාය. හිස කෙස් ඇතිවිට එය සේදිය යුතුය, සුවඳ ගැල්විය යුතුය, උකුණන් ආදීන්ගෙන් රැක ගත යුතුය. හිස කෙස් හැලෙන විට හෝ සුදු වනවිට දුක් විය යුතුය. හිස කෙස් නැතිවිට මේ කිසිදු හිරිහැරයක් දුකක් නැතිනිසා උන්වහන්සේ මහණුන්ට මේ ලෙස හිස මුඩු කිරීම මැනවැයි දෙසූ සේක.

වර්තමානයේ බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විශේෂයෙන්ම නළු නිළියන් හා ගායක ගායිකාවන් හිස මුඩු කරති. ඒ විලාසිතාවටය.

මේ අතර අවාසනාවන්ත ලෙස පිළිකා වැළඳුණු බාල හා මහලු රෝගීන්ට ඒ පිළිකාවන්ට දෙනු ලබන බෙහෙත් හේතුවෙන් හිස කෙස් අහිමි වීමද සමාජයේ සුලභය. මෙහි කණගාටුම කරුණ නම් පිළිකාවලින් පෙළෙන කුඩා දරුවන්ගේ දෙමාපියන්ද මේ හේතුව නිසා හිස මුඩු කර ගැනීමයි.

එහෙත් අද සැන්දෑ යාමයේ මා මේ ඉහත සඳහන් කළ කිසිදු හේතුවක් නොමැතිව මගේ ඥාති සොයුරියක ඇගේ හිස සම්පූර්ණයෙන්ම මුඩු කළාය. එය විශේෂිත වූ සිදුවීමකි. මේ පුංචි සටහන ඇය වෙනුවෙනි.

එංගලන්තයේ වෙසෙන සුරූපි ඇය, යොවුන් වියේ පසුවන ආයූර්වේද වෛද්‍යවරියකි. තම නිවුන් දූවරුන් දෙදෙනා සහ ආදරණීය සැමියා සමඟ ඉතා සතුටු දායක හා සැපවත් ජීවිතයක් ගත කරන්නීය. එහෙත් හදිසියේ මෙවන් කැපකිරීමක් කෙරුමට ඇය පෙලැඹුණේ ඇයි? විශේෂයෙන්ම සුරූපි කාන්තාවන් තම රූපලාවණ්‍යයේ ඉතාම වැදගත් අංගයක් වූ කේසකල්‍යානයට දක්වන්නේ පුදුමාකාර ආදරයකි. එහෙත් ඇය ඒ ආශාව අත හැරියාය. ඒ ඉතාම වැදගත්, කාලෝචිත හා ඉතා ඉහළින්ම අගය කළ යුතු කාරණා ද්විත්වයක් වෙනුවෙනි.

එහි පළමුවැන්න වූයේ ඇගේ දිගු කෙස් කළඹ පිළිකා හේතුවෙන් හිස කෙස් අහිමි වූ කුඩා දරුවන්ට බොරු කොණ්ඩ(wig) සෑදීම සඳහා ප්‍රදානය කිරීමය.

අනෙක් කාරණය නම් , පළමු කාරණය මෙන්ම වැදගත් වූ තවත් මහා මානවහිතවාදී පුණ්‍යකර්මයකට දායකවීම සඳහා අරමුදලක් ඇතිකර ගැනීමටය.

නිවුන් දූවරුන්ගේ මවක වන ඇය, ගර්භණී සමයේම තම දරුවන් සඳහා එංගලන්තයේ අසීමිතව තිබෙන සැප සම්පත් වලින් සුළු ප්‍රමාණයක් , ලංකාවේ වෙසෙන එහෙත් දුගී දුප්පත්කමේ අගාධයේ වැටී සිටින එවැනිම නිවුන් දූවරුන් දෙදෙනකු සඳහා කැප කිරීමට තීරණය කළාය. තම දියණියන්ට වඩා මාස 6 ක් පමණ වැඩිමහලු නිවුන් දියණියන් සිටින පවුලක් ඔවුනට හමු වූයේ දෛවයේ පතා ආ විලසිනි.

ඇය ඔවුනට සහන සැලසීම ඇරඹුවාය. තම දියණියන්ගේ පළමු වසරේ උපන් දිනයට ලැබුණු තෑගි සියල්ලම ඇය ලංකාවේ වෙසෙන ඒ දුගී පවුලේ දූවරුනට යැව්වාය. එතැන් පටන් අදවන තුරුම මාසිකව ඇය ඔවුනගේ ඕනෑ එපාකම් සලසන්නීය. ඔවුන් දිනයෙක සරසවියට ගොස් රැකියා අවස්ථා උදාකරගන්නා තුරුම ඔවුනට සැලකීම තමන්ගේ බලාපොරොත්තුව බැව් අද , ඈ මා සමඟ පැවසුවාය.

අද දිනයේ කොණ්ඩය බූගෑමෙන් ඇය එකතුකරගත් පවුම් 1000, ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක පමණ මුදලද ඒ දරුවන් දෙදෙනා සඳහා ගිණුමක බැර කරන බව මා සමඟ පැවසුවේ හදවත පිරී ඉතිරී යන තරම් සතුටකිනි.

මේ සිදුවීමේ තවත් ආදරණීය සිද්ධියක්ද අද සිදුවිය. එනම් ඇගේ ආදරණීය සැමියාද ඇයට අනුග්‍රහයක් , උපහාරයක් පිණිස සිය හිසද මුඩුකර ගැනීමයි.

මගේ ඥාති නැගෙණිය කොහොමත් ඉතා ලස්සනය. එහෙත් අද ඈ හිස සම්පූර්ණයෙන් මුඩු කළ පසු මම ඇගේ විශේෂ ලස්සනක් , පැහැපත්බවක් දුටුවෙමි. ඒ ඇගේ හදවතේ ලස්සනද තිබූ ලස්සන සමඟ එකතු වී පිටතට පෙනුණු නිසාවෙන් බව මම විශ්වාස කරමි.

දයාබර නැගෙණිය, ඔබ කළ මේ මහා කැපවීම අප සැමටම විශාල ආදර්ශයකි. ඔබගේ ඥාති සොයුරෙකු වීමට මා ලද භාග්‍ය ගැනද ඒ සමඟම අද මම ඉතා ආඩම්බර වෙමි. මේ පුංචි සටහන ඔබට උපහාරයක් වශයෙනි.

4832  1

ඇය විසින් පිහිට වන ලංකාවේ දරුවන් දෙදෙනා

5 6 7

චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p