ආයෙ එන්නේ යන්න නෙවෙයි අරගෙනම යන්න

August 2, 2016

ඊළඟ පාර ජනතාව සමග පැමිණෙන්නේ යන්න නොව අරගෙන යන්න බව හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙවර ක්‍රියාත්මක වූයේ ඒ සඳහා වන පෙරහුරුවක් පමණක් බව රාජපක්ෂ මහතා කියා සිටියේ අද(01)ජනසටන පාදයාත්‍රාව පැමිණ කොළඹ ලිප්ටන් වටරවුමේදී රැස්වූ ජනතාව ආමන්ත්‍රණය කරමිනි.

ආණ්ඩුවක් ලබාගන්නේ කෙසේද, ඒ සඳහා අරගල කරන්නේ කෙසේද,විපක්ෂයේ සිට උපාය උපක්‍රම තෝරන්නේ කෙසේද යන්න මෙමගින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්‍ට පුහුණුවක් ලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

මේ ආණ්ඩුවට පිහිටට ඇත්තේ සී.අයි.ඩී එකයි,එෆ්.සී.අයි.ඩී එකයි,අල්ලස් කොමිසමයි පමණක් බවත්,රටේ ජනතාව මේවාට රැවටෙන්නේ නැති බවත් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

‍ආණ්ඩුව පත්වී තාමත් අවුරුද්දයි මාස 8ක් වැනි කෙටි කාලයක් පමණක් බවත්,එවන් කෙටි කාලයකට මේ සා විරෝධයක් එල්ලවීම කෙතරම් පරාජයක්දැයි ආණ්ඩුව කල්පනා කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

අද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කරමින් රට ඒකාධිපතිත්වය කරා ගමන් කරන බවත්,ලෝකයේ ඒකාධිපති පාලකයින්ට කළ දේම ජනතාව විසින් මේ ඒකාධිපති යුවළටත් කරන බව රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

මේවන විට කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඒ වෙනුවෙන් 15%ක බද්දක් ආණ්ඩුවට ගෙවන්නට සිදුව ඇති බවත්,රටේ කොල්ලන්ට කෙල්ලන්ට ලබාදීමට පවත්නා රැකියා ටික විදේශිකයන්ට ලබාදීමට කටයුතු කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඉතිහාසයේ පැවති දැවැන්තම පාගමන මෙලෙස අද නිමාවට පත්කෙරුණු නමුත් ජනතාවගේ ජයග්‍රහණය උදෙසා අරගලය අඛණ්ඩව ගෙන යන බව ද ඔහු කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p