වසර මැදදී ‘ඉට්‌කා’ අත්සන් කරනවා

February 24, 2016

ඉට්‌කා ගිවිසුම මෙම වසර මැදදී අත්සන් කරන බවද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට මාර්තු 4 දා ඉන්දීය දූත පිරිසක්‌ මෙරටට පැමිණෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඉන්දු ලංකා ආර්ථික සහ තාක්‍ෂණ සහයෝගීතා ගිවිසුමට අදාළ අවසන් කෙටුම්පත සකස්‌ කරනුයේ මෙම සාකච්ඡාවෙන් පසුව බව කී අගමැතිවරයා එය හොර රහසේ සිදු නොකරන බවද කීය.

අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඉන්පසු ඒ පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කළ හැකි බවද කී අගමැතිවරයා අසත්‍ය හා මිථ්‍යා පතුරවමින් රට ගිනි තබන්න කිසිවකුට ඉඩ නොදෙන බව කීවේය.

මම ඇමැති මලික්‌ සමරවික්‍රම මහතාට කිව්වා මේ ගිවිසුම කෙටුම්පත් කරලා එහි පිටපත් මේ අයට ලබාදෙන්න කියලා. මේ ගැන සභාවේ වාද කළ යුතුයි. පාරේ නොවේ. සභාවේ වාද නොකර පාරට යනවා කියන්නේ සභාවට අගෞරව කිරීමක්‌. ආංශික අධීක්‍ෂණ කාරක සභා පත් කළාම මේ ගැනත් අදාළ කාරක සභාවේදී සාකච්ඡා කළ හැකියි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා- මේක හුඹස්‌ බියක්‌ නොවේ. හිතේ හදාගත් බියක්‌ නොවේ. විෂය භාර ඇමැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා තොරතුරු තාක්‍ෂණය, නාවික ක්‍ෂේත්‍රය විවෘත කරන බවට පෙබරවාරි අග ගිවිසුම් රාමුව අත්සන් කරලා මැද වෙද්දී ගිවිසුම අවසන් කරනවා කිව්වා. එහෙනම් එය හුඹස්‌ බියක්‌ නොවේ.

අගමැතිවරයා- ඕනෑම අයෙකුට ඇවිත් ලංකාවේ ව්‍යාපාර පටන් ගත හැකියි. නමුත් ඒ රටවල මිනිස්‌සු ගෙන එන්න බෑ. අපිට කථිකාචාර්යවරු මදි. ඉන්දියාවේ තොරතුරු තාක්‍ෂණ පඩිය අපට වඩා වැඩියි. අපේ අය එතැනට ගියොත් අපට හිඟයක්‌ ඇතිවේවි. ආයෝජනයන්ට විවෘත කළත් නිදහසේ ඕනෑම කෙනෙකුට එන්න බෑ.

විමල් වීරවංශ මහතා- රැකියා සඳහා වෙනම විවෘත වීමක්‌ වන්නේ නැද්ද? මේ ගැන වෙනම දිනයක විවාදයක්‌ ඉල්ලුවා.

අගමැතිවරයා- අපි සකස්‌ කරන ලියවිල්ල යවන්න කලින් ඉන්දියාවේ ලියවිල්ලත් ආවාම දෙකම සාකච්ඡා කරමු. තාක්‍ෂණය කියන්නේ සේවාවක්‌. ඒක විවෘත කරනවා. ඒ දවස්‌වල සමහර ඒවා දෙන්නම් කියා සමහරු කිව්වා. ඩොලර් මිලියන පහක්‌ දෙනවා නම් අද හම්බන්තොට සුදු අලියෙක්‌. මේක ගෙනාවම අපි එය කොළ අලියෙක්‌ කරනවා.

බන්දුල ගුණවර්ධන මහතා- සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒකාබද්ධවී ගිලන් රථ සේවාවක්‌ අරඹන්න ඉන්දීය රාජ්‍ය නොවන ආයතනයකට දී තිබෙනවා. ඇයි ඒ?

අගමැතිවරයා- ඉන්දියාවේ තිබෙනවා විශේෂ ගිලන් රථ සේවාවක්‌. වාහන තදබදයක්‌ නිසා ගිලන් රථය එනතුරු පාපැදියෙන් ගොස්‌ උදව් දෙනවා. මෙය ලංකාවේ කරන්න අපි අවුරුදු දෙකක කොන්ත්‍රාත්තුවක්‌ දී තිබෙනවා. ඉන් පසුව අප එය භාරගෙන කරනවා. බස්‌නාහිර සහ දකුණේ ජනතාව මෙයට කැමතියි. එපා කියන්නේ මිනිස්‌සු මරන්නද? නිදහස්‌ සෞඛ්‍ය කපා දැමූ අය කොහොමද මේකට කැමැති වෙන්නේ. මිනිස්‌සු මරන්න අපි ලෑස්‌ති නෑ.

අනුර කුමාර දිසානායක මහතා- ගිලන් රථ 100 ක්‌ ගෙනත් මේ සේවාව අරඹන බව කියනවා. මේකට ලංකා රජය සතයක්‌වත් වියදම් කරන්නේ නැද්ද? මේක තෑග්ගක්‌ද… මොකක්‌ද එකඟත්වය?

අගමැතිවරයා- එකඟත්වය සභාවට දෙන්නම්. ඒ සේවාවලට ගෙවනවා. පළමුව එන්නේ නොමිලේ. ඒ ගෙනෙන යන වියදම අප දරාගත යුතුයි.

අනුර දිසානායක මහතා- මාරයිනේ. ටෙන්ඩර් කැඳවීමක්‌ නැතිව ඇම්බියුලන්ස්‌ 100 ක්‌ දෙනවා. සේවයට අපි ගෙවනවා.

අගමැතිsවරයා- ඔබතුමා තොරතුරු ඉල්ලනවානම් අපි දෙන්නම්. ආංශික අධීක්‍ෂණ කාරක සභා පත් කළාම ඒ කමිටුවට තොරතුරු දෙන්නම්.

විමල් වීරවංශ මහතා- මේ වගේ දෙයකට ඇයි දේශීය ව්‍යවසායකයන් නැද්ද?

අගමැතිවරයා- නෑ නේ. මට හොයලා දෙන්න.

විමල් වීරවංශ මහතා- මම කතා කරලා ඉවර නෑ. සම්මුතිවාදය ගැන කතා කළාට තියෙන්නේ කම්මුතිවාදය. මේ ගිලන් රථ සේවාව ඉන්දියාව සමග අරඹන්න සුවිශේෂී හේතුව මොකක්‌ද?

අගමැතිවරයා- ශ්‍රී ලංකා ව්‍යවසායකයෙකුගේ නමක්‌ කියන්න මේක කළ හැකි. අපි දන්නවනේ ඔයගොල්ලන් කළ සෙල්ලම්. ඒවා කිව්වොත් මේ රටේ මිනිස්‌සු තවත් තරහා වේවි.

චන්ද්‍රසිරි ගජධීර මහතා- කවුරුත් නෑ කියා අගමැතිතුමා කියනවා. අධ්‍යයනයක්‌ කරන්න මෙවැන්නකට එකඟතාව ඇති මෙරට ව්‍යවසායකයන් ගැන.

අගමැතිවරයා- මම උත්තර දීලා ඉවරයි. ලංකාවේ හොර ධනපති පන්තිය වෙනුවෙන් කතා කරන වාමාංශිකයන්ට මම උත්තර දෙන්නේ නෑ. ලංකාවේ මෙය කළ හැකි අය නෑ. එහෙම ඉන්නවානම් කියන්න අපි එයාට වෙන පළාතක්‌ දෙන්නම්, මහනුවර දෙන්නම්.

වාසුදේව නානායක්‌කාර මහතා- කවුද හොර ධනපති.

අගමැතිවරයා- මා ළඟ µයිල් තියෙනවා. ඉන්නේ එක වාමාංශිකයයි. ඒ ජයම්පති වික්‍රමරත්න. එයත් දැන් ඉන්නේ එක්‌සත් ජාතික පක්‍ෂයේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p