නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ඒ.එස්.පී රහස් පොලිස් අත්අඩංගුවේ

February 2, 2016

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පසුගියදා පැවති සාදයක් අතරතුරදී පොලීසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව සැකපිට සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී ධර්මරත්න මහතා අත්අඩංගුවට ‍ගෙන තිබේ.

අද (02) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති ඔහු පසුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරීවරයාට මෙන්ම මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් පසුගියදා නියෝග කර තිබිණි.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයෙන් දින ගණනක් ගතවී තිබුණද නීතිපති උපදෙස් නොමැතිව පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගත නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි.

කෙසේ වෙතත් මේවන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර මෙම ගැටුමේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ තම සැමියා කෘර ලෙස පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ නීති අංශයේ නීතිඥ ප්‍රසංග ප්‍රනාන්දු මහතා පවසයි.

මීට අමතරව මෙම සිදුවීමේදී පොලිස් ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ ලසන්ත හා වසන්ත යන දෙදෙනා වෙනුවෙන් ලක්ෂ 30 බැගින් වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත්,එසේම සාදය පැවති නිවසට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන්ද තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන්, නීතිපතිවරයා ඇතුළු ඩී.ඩබ්.සී ධර්මරත්න(සහකාර පොලිස් අධිකාරී),එස්.ආර් ජිනේන්ද්‍ර ඩයස්(මූලස්ථාන පොලිස් පරීක්ෂක),රාජපක්ෂ(පො.ප),ජිනදාස(පො.සැ),ශාන්ත(පො.කො),සාරංග(පො.කො),ජයලත්(පො.කො),බන්දුසේන(පො.කො)යන අය නම්කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p