ගතවූ පැය 24 ට ඝාතන 5ක්

January 22, 2016

ගත වූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කර තිබේ.

මිද්දෙණිය, කාරියමඩිත්ත ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී අද උදෑසන සොයා ගත් බව වාර්තා වේ.

අද දෙරණ වාර්තාකරු කියා සිටියේ  ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයාද ඊට ආසන්න ප්‍රදේශයකදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවයි.

මේ අතර කුරුණෑගල, යටිවැහැරවත්ත වතුයායේ මුරකරු ලෙස සේවය කළ අයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ රාත්‍රී 11.00ට පමණ ඝාතනය සිදුව ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

මේ අතර වීරකැටිය මුරුතවෙල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී නාදුනන පුද්ගලයෙකු නිවෙස් හිමියාට වෙඩි තබා පලාගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රී 11.45ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මේ අතර තිස්සමහාරාමය, එකමුතුගම ප්‍රදේශයේදී  සැමියා සිදු කළ පහරදීමකින් බිරිඳ මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ ඊයේ පස්වරු 02.00ට පමණ අදාළ පුද්ගලයා 33 හැවිරිදි සිය බිරිඳට අත්පාවලින් පහරදී ඝාතනය කර ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් 35 හැවිරිදි ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර අද තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ අතර අවිස්සාවේල්ල සීතාවක ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක්  ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අව්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ නිවසේ තනිවම වාසය කළ මෙම කාන්තාව 70 හැවිරිදි වියේ පසු වූ අයෙකු බව පොලිසිය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p