ආණ්ඩුවට සති දෙකක් දෙනවා

December 21, 2015

අය  වැය, ඉන්දු – ලංකා ද්විපාර්ශ්වික ගිවිසුම හා මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන විසඳුමක් ලබාදීමට රජයට සති දෙකක් ලබාදෙන බවත්, අදාළ කාලය තුළ විසඳුමක් නොදුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ අය වැයෙන් වෛද්‍යවරුන්ට තීරුබදු සහනය සහිත වාහනය අහිමිකර නැති නමුත් බලාපොරොත්තු විදියට එය ලැබී නැති බවයි.

එසේම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 2500කින් වැඩි කිරීමෙන් කම්කරු ශ්‍රේණියේ හා විධායක ශ්‍රේණියේ   දැනට පවත්නා 1ට 4 අනුපාතය 3ට 5දක්වා අඩු වන බවද එසේ නොවී එය පැවැතිය යුත්තේ 1 -12 අනුපාතයේ බවද ඔහු පැවසීය.

තවද ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ගිවිසුම ගැන සැලසුම් සකස් කිරීමට අද විශේෂ කණ්ඩායමක් එරටට යන බවත්, මේ නිසා ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්ෂේත්‍රය ඉන්දියානුවන් ආක්‍රමණය කිරීමට ඇති ඉඩ වැඩි බවත්, මේ ගැන ජනපතිට දැනුම්දුන්‍ අවස්ථාවේ ඔහු එය සැලකිල්ලට භාජන කරන බව පැවසුවේ යැයිද ඒ මහතා කීවේය.

තවද මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල පුහුණුව ලබාදීම අනුමත කළ නොහැකි බවද, වත්මන් ජනපති සෞඛ්‍ය ඇමති කාලයේ එම පුහුණුව නොදුන් බවද හෙතෙම පැවසීය.

වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ආරක්ෂා කළ යුතු බව පෙන්වාදුන් ඒ මහතා මාලඹේ පෞද්ගලික විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 110ට දෙන බවත්, එහෙත් රජයේ රෝහලක පුහුණුව ලබා ගැනීමට එම සිසුවෙකුගෙන් අය කරන්නේ රුපියල් 50,000ක් බවත්, ඔහු පෙන්වාදුන්නේය.

මෙය ඇතුළු ගැටලු ගණනාවක් ගැන ඉදිරි දිනවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයින් හා සෙසු වෘත්තීය සමිති ද දැනුවත් කර එම ගැටලුවලට විසඳුමක් නොදෙන්නේ නම් ජනවාරී මුල් සතියේ දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බවද හෙතෙම පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p