රනිල්ට සිදුවුණේ හිඟන්නාට ලොතරැයියක් ඇදීමක් වගේ වැඩක්

October 16, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිදුව ඇත්තේ හිඟන්නාට ලොතරැයියක් ඇදීමට සමාන ජයග්‍රහණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

හිඟන්නෙකුට ලොතරැයියක් ඇදුණු විට මුදල් ඇත්තේ තමාට යයි සිතමින් උද්ධච්ඡව කටයුතු කරන්නේ යම් සේක්ද ඒ ආකාරයෙන්ම අග්‍රාමාත්‍යවරයා දැන් බලය ඇත්තේ තමා ළඟ යයි අන් සියලුම දෙනාම අඟවමින් ක්‍රියාකරමින් සිටින බව හෙතෙම කියා සිටියේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ඇතැම් වචන ශිෂ්ට සම්පන්න නැති බැවින් පාර්ලිමේන්තුව පෙන්වීම සඳහා මව්පියන් හෝ ගුරුවරුන් දරුවන් කැටුව එන්නේනම් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නොසිටින දින කල්තියා දැනගෙන පැමිණීම වඩා සුදුසු බව ඔහු සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා ජපානයේ සංචාරයක නිරතවූ කාලයේ දින 2ක් රැස්වුණු පාර්ලිමේන්තුව ඉතාමත් යහපත් අයුරින් ක‍ටයුතු කරගෙන ගිය බවද ඔහු සිහිපත් කළේය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම නීති විරෝධී වන්නේ මන්දැයි කරුණු දැක්වීම සඳහා අද මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණු අතර පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන ලෙස හා එතෙක් තම මහනගර සභාවන්හි නිල කාලය දිගුකරන මෙන් පළාත්පාලන ඇමතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ඉකුත් 13 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ රීට් අංක 6/2015 දරණ මෙම  නඩුවට නීතිඥ අනූෂා‍ පේරුසිංහ මෙනවියගේ උපදෙස් පිට තමන් හා නීතිඥ මනෝහර ද සිල්වා පෙනී සිටින බවත්, දෙහිවල-ගල්කිස්ස, මොරටුව, ගාල්ල සහ අනුරාධපුර යන මහ නගර සභාවන්හි නගරාධිපතිවරුන් වන ධනසිරි අමරතුංග, සමන්ලාල් ප්‍රනාන්දු, කැළුම් සෙනෙවිරත්න, සහ එච්.පී සෝමදාස යන අය විසින් මෙම නඩුව ගොනුකර ඇති බවත් ගම්මන්පිල මහතා මෙහිදී සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p